කතානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු න්යාය පුස්තකයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.
අදාළ යෝජනාවේ අධිකරණ නඩු කටයුතුවලට බලපෑම් කළ හැකි කරුණු ඇතුළත් බැවින් එය සංශෝධනය කළ යුතු බව ආණ්ඩු පක්ෂයේ මතය වී ඇත. කෙසේ වෙතත්, එවැනි කරුණු යෝජනාවේ අඩංගු නොවන බව විපක්ෂය පවසයි.
විශ්වාසභංග යෝජනාවෙන් අධිකරණ කටයුතුවලට බලපෑමක් සිදුවිය හැකිදැයි සොයා බැලීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මීට පෙර තීරණය කර තිබුණ ද, එය මෙතෙක් නීතිපතිවරයා වෙත යොමු කර නොමැති බව වාර්තා වේ.
ආණ්ඩු පක්ෂය අපේක්ෂා කරන්නේ විපක්ෂය විසින් යෝජනාව සංශෝධනය කර නැවත ඉදිරිපත් කරනු ඇති බවයි. එහෙත් විපක්ෂය එලෙස යෝජනාව නැවත සකස් කර භාරදීමට සූදානමක් නොමැති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර, අධිකරණ කටයුතුවලට බලපෑම් කළ හැකි කරුණු ඉවත් කර යෝජනාව න්යාය පුස්තකයට ඇතුළත් නොකළේ මන්දැයි ආණ්ඩු පක්ෂයෙන් පාර්ලිමේන්තු ලේකම් මණ්ඩලයට චෝදනා එල්ල වී තිබේ. ඊට ප්රතිචාර දක්වමින් ලේකම් මණ්ඩලය පවසා ඇත්තේ යෝජනාවේ අධිකරණ කටයුතුවලට බාධා වන කරුණු නොමැති බවයි.
මෙම මත ගැටුම් හේතුවෙන් විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම තවදුරටත් ප්රමාද වීමේ අවදානමක් මතුව ඇත. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්රකාශ කළේ යෝජනාව වහාම විවාදයට ගත යුතු බවයි. කතානායකවරයාට එරෙහි බරපතළ චෝදනා 50ක් එහි ඇතුළත් බව ද ඔහු සඳහන් කර තිබේ.
මේ අතර, කතානායකවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති දූෂණ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද විමර්ශනයක් පවත්වමින් සිටින බව වාර්තා වේ.













