පවතින වැසි තත්ත්වය හමුවේ ඇතිවිය හැකි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා අවශ්ය කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්යස්ථානය පවසයි.
එහි අධ්යක්ෂ ප්රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, බෙංගාල බොක්කේ වර්ධනය වෙමින් පවතින පීඩන අවපාතය සම්බන්ධයෙන් කාලගුණ අනාවැකි පිළිබඳ අවධානය යොමු කරමින්, අවදානම් ප්රදේශවලට අවශ්ය උපකරණ සහ මුදාගැනීමේ කණ්ඩායම් සූදානම් කර ඇති බවයි.
කාලගුණ විද්යා දෙපාර්තමේන්තුවේ ඔක්තෝබර් 25 වැනිදා නිකුත් කළ අනාවැකිය අනුව, උතුර, බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ මධ්යම පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. ඇතැම් ප්රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ අවදානමක් ද පවතී.
බෙංගාල බොක්කේ පැවති පීඩන අවපාතය අද (25) පෙරවරු 11.30 වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එය ඔක්තෝබර් 26 වැනිදා උදෑසන වන විට සුළි කුණාටුවක් බවටත්, 27 වැනිදා උදෑසන වන විට ප්රබල සුළි කුණාටුවක් බවටත් වර්ධනය විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
මෙම පද්ධතියෙන් ශ්රී ලංකාවට සෘජු බලපෑමක් අපේක්ෂා නොකළද, ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්රදේශවල වැසි වැඩිවිය හැකි බවට ද අනතුරු අඟවා ඇත.
මධ්යම කඳුකරයේ බටහිර බෑවුම් ප්රදේශවල, උතුර, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්රික්කවල පැයට කිලෝමීටර් 40–50 අතර තද සුළං ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දී තිබේ.












