ඇපල් සමාගමේ ප්රථම නැමිය හැකි ජංගම දුරකථනය වන iPhone Duo හි අභ්යන්තර තිරවල දෝෂ හටගෙන ඇති බවට වාර්තා වීමත් සමඟ, එම ගැටලුවට බලපෑ දුරකථන සම්බන්ධයෙන් පියවර ගැනීමට සමාගම කටයුතු කර තිබේ.
දුරකථනය වෙළෙඳපොළට නිකුත් කර දින කිහිපයක් ඇතුළත මෙම ගැටලුව වාර්තා වී ඇති අතර, ඇමෙරිකානු ඩොලර් 2,668ක පමණ ආරම්භක මිලකට අලෙවි වන එහි අභ්යන්තර තිරයේ රේඛා ඇති බව දැක්වෙන ඡායාරූප සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
ඇපල් සමාගම සඳහන් කර ඇත්තේ දුරකථන සුළු සංඛ්යාවක අභ්යන්තර තිරයට බලපා ඇති මෙම ගැටලුව පිළිබඳව තමන් දැනුවත් බවයි. එමෙන්ම දෝෂ සහිත උපාංග හිමි පාරිභෝගිකයන්ට ඒ වෙනුවට නව දුරකථනයක් ලබාගැනීම සඳහා සමාගම හා සම්බන්ධ වන ලෙස දැනුම් දී තිබේ.
දුරකථනය දිගහැරීමේදී මැද නවන ස්ථානය ඔස්සේ ඉරි හටගන්නා බවත්, ඇතැම් අවස්ථාවලදී දුරකථනය දිගහැරීමේදී අසාමාන්ය ශබ්දයක් ඇසෙන බවත් පරිශීලකයන් වාර්තා කර ඇත.
කෙසේ වෙතත්, මෙම දෝෂයෙන් බලපෑමට ලක්ව ඇති දුරකථන සංඛ්යාව ඇපල් සමාගම මෙතෙක් ප්රකාශයට පත් කර නොමැත. සමාජ මාධ්යවල සංසරණය වන ඇතැම් ඡායාරූප කෘත්රිම බුද්ධිය භාවිතයෙන් නිර්මාණය කර තිබිය හැකි බවටද මත පළ වී තිබේ.
IDC වෙළෙඳපොළ පර්යේෂණ ආයතනයේ තාක්ෂණික විශ්ලේෂක ෆ්රැන්සිස්කෝ ජෙරෝනිමෝ පෙන්වා දෙන්නේ සමස්ත නිෂ්පාදනය පිළිබඳ අවසන් නිගමනයකට එළඹීමට පෙර ප්රවේශමෙන් කරුණු සලකා බැලිය යුතු බවයි. නැමිය හැකි දුරකථන තාක්ෂණය තුළ ඉහළ ඉංජිනේරු හැකියාවක් සහ ශක්තිමත් සැපයුම් දාමයක් සහිත සමාගම්වලට පවා අභියෝග පවතින බවද ඔහු සඳහන් කර ඇත.













