අපේ රටේ විදේශ ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයට සහ රටවල් සමඟ සබඳතා ඇති කර ගැනීමට පමණක් සීමා නොකර රටේ විදේශ ප්‍රතිපත්ති පරිසරය හා දේශගුණය ආරක්ෂා කිරීම වෙනුවෙන්ද යොදා ගත යුතු බවත් රට සංවර්ධනය කළ යුත්තේ පරිසරය සුරැකීම පිළිබඳ අවධානය යොමු කරමින් බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
පසුගිය නෝර්වේ සංචාරයේ දී තමාගේ මූලික අවධානය යොමු වුනේ ශ්‍රී ලංකාවේ දේශගුණය සහ පරිසරය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සඳහා නෝර්වේ රජයේ ආධාර උපකාර ලබාගැනීමට බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා, සාගර ආරක්ෂාව සහ සාගර වර්ධනය පිළිබදව අප ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ඉදිරියේදීත් නෝර්වේ රජයත් සමඟ සාකච්ඡා කරන බවත් මෙහිදී සඳහන් කළේය.
අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (13) දින ගල්කිරියාගම, උල්පතගම නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
නාමල් උයනේ ඉදිවූ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නාමල් උයන ව්‍යාපෘති කාර්යාල සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව එම කාර්යාලයේ වෙබ් අඩවිය එළිදැක්වීම ද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. ඉන් අනතුරුව පුජ්‍ය වනවාසී රාහුල හිමියන් සමඟ අගමැතිතුමා නාමල් උයන නිරීක්ෂණ චාරිකාවකට ද එක්විණි.
උත්සවයෙන් අනතුරුව ජාතික නාමල් උයනේ ඉදිකර තිබෙන හිටපු ජනපති ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ පිළිරුවට උපහාර දැක්වීමත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා “ජාතික නාමල් උයනට පැමිණීමට වසර කිහිපයක් ගතවූ නිසා ඒ සම්බන්ධයෙන් මට දෝෂාරෝපණය කරමින් අපේ නායක ස්වාමීන් වහන්සේ කතාව ආරම්භ කරනු ඇතැයි මා කල්පනා කළා. නමුත් එසේ නොකිරීම සම්බන්ධයෙන් මම පළමුවෙන්ම උන් වහන්සේට ස්තුතිය පුද කර සිටිනවා. අද මෙම ජාතික නාමල් උයන පවත්වාගෙන යන්නේ ඔබ වහන්සේ නිසයි. ජාතික නාමල් උයන සම්බන්ධයෙන් විශේෂ ලැදියාවක් ඛ්‍රැඩ්මන් වීරකෝන් මැතිතුමා දැක්වූවා. ඒ සඳහා අවශ්‍ය සෑම සහයෝගයක්ම මගේ අනුදැනුම යටතේ ලබාදුන්නා. එදා නාමල් උයන දියුණු කිරීමට අපි කටයුතු කලේ ඒ ආකාරයටයි. ඒ සියලූ කටයුත්තක්ම සිදුකිරීමට හැකිවුණේ ස්වාමීන් වහන්සේ නිසායි.
උන් වහන්සේ නොසිටියා නම් වෙනත් කවුරුන් හෝ පැමිණ මෙය ව්‍යාපාරයක් බවට හරවා ගැනීමට ඉඩ තිබුණා. ගස් කොළන් කපා දමමින් රෝස තිරුවානා පර්වතය විනාශ කිරීමටත් ඉඩ තිබුණා. කෙසේ හෝ මෙම ජාතික සම්පත ආරක්ෂා වුණා. මෙය ජාතික සම්පතක් පමණක් නොවෙයි. ආසියානු කලාපයටම තිබෙන විශේෂ ස්ථානයක්. එවකට පැවති සෑම ආණ්ඩුවකින්ම ආධාර උපකාර ලබාගනිමින් මෙම නාමල් උයන සංවර්ධනය කිරීමට ඔබ වහන්සේ විශාල උනන්දුවක් දැක්වූවා. ඒ සියලූ වැඩකටයුතු වෙනුවෙන් මම උන් වහන්සේට ස්තුතිය පුදකර සිටිනවා.
මෙම ස්ථානය මේ තත්වයට ගෙන එන්නට කැපවූ බොහෝ දෙනා අතුරින් මාධ්‍යයට විශේෂ ස්ථානයක් හිමිවෙනවා. සෑම විටම මාධ්‍යයට විවේචන එල්ල නොකර මාධ්‍ය හරහා සිදුවූ ගුණාත්මක සේවාවන්ද අපි අගය කළ යුතුයි.
මහින්ද සෝම, බර්ටි දිසානායක ආදි මහ ඇමතිතුමන්ලාගෙන් මෙම ස්ථානයට සිදුවූ සේවාවත් අපි සිහිපත් කළ යුතුයි. මේ සියලූ වැඩකටයුතු සිදුවුණේ ඔබ වහන්සේගේ ඉදිරි දැක්මත්, නායකත්වයත් නිසායි. එම මගපෙන්වීම නොතිබුණා නම් එම තත්වය ඇතිවන්නේ නැහැ. මේ වන විට මෙහි ඉදිරි සංවර්ධන වැඩකටයුතු පිළිබදව අපි සාකච්ඡා කර තිබෙනවා. විශේෂයෙන්ම මෙම මහාමාර්ග ඉදිකිරිම පිළිබදවත් සාකච්ඡා කර තිබෙනවා. මෙවැනි වැඩසටහන් සඳහා අරමුදල් ලබාදෙන සංස්කෘතික අරමුදලේ අඩුපාඩුකම් පිළිබදව විජේදාස රාජපක්ෂ මැතිතුමා සොයා බලනවා.
ඔබ වහන්සේගේ වුවමනාව වී තිබෙන්නේ මෙහි දැව කෞතුකාගාරයක් ආරම්භ කිරිමයි. ඒ පිළිබඳව සාකච්ඡා කරමින් සිටිනවා. අපේ රටට දැව කෞතුකාගාර තුනක් අවශ්‍ය බව මගේත් මතයයි. වියලි කලාපය, මධ්‍යම කලාපය සහ තෙත් කලාපය තුල ඒවා ඉදිකළ යුතුයි. ඔබ වහන්සේ අපට ලබාදුන්නේ ඉතා හොඳ අදහසක්. මෙහි දැව කෞතුකාගාරයක් ආරම්භ කරමින් ඉන් පසුව අනෙක් ස්ථානවල එය ක්‍රියාත්මක කිරිමට අපි බලාපොරොත්තු වෙනවා. රටේ සංචාරක ප්‍රවර්ධනය වෙනුවෙන් මේ හරහා විශාල දායකත්වයක් ලබාගත හැකියි. ඒවගේම කෛ්බල් කාර්ෙ වැඩසටහන පිළිබදවත් අපි අවධානය යොමු කරනවා.
මෙය ඉතා පැරණි සම්පතක්. ඉතිහාසයේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයේ මෙය ආරම්භ වූ බව සඳහන් වුවත් මා නම් සිතන්නේ ඊටත් පෙර සිට මෙය ආරම්භ වන්නට ඇති කියායි. වර්තමානයේ සොයාගෙන ඇති තොරතුරුවලට අනුව රෝස තිරුවානා පර්වතය අවුරුදු මිලියන 550ක් පැරණි බව පැවසෙනවා. මෙය සංස්කෘතික ත්‍රිකෝණයට බාරදීමට අවශ්‍ය වැඩකටයුතු අප දැන් ආරම්භ කර තිබෙනවා. මේ ප්‍රදේශයේත් සංචාරක ව්‍යාපාරය ව්‍යාප්ත කළ යුතුයි. එය පොළොන්නරුව, දඹුල්ල හෝ අනුරාධපුරයට සීමා විය යුතු නැහැ. නාමල් උයන ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය වර්ධනය කළ යුතුයි.
මෙම නාමල් උයන සතු වටිනාකම විජේදාස රාජපක්ෂ මැතිතුමා සිය කතාවෙන් පෙන්වා දුන්නා. වර්තමානයේ ලෝකය පුරා ඇතිවී තිබෙන්නේ විශාල සටනක්. එය දෙවන ලෝක යුද්ධයටත් වඩා විශාලයි. හිරෝෂිමා නාගසාකි වලට බෝම්බ හෙලීමටත් වඩා අද ඇතිවී තිබෙන සටන දරුණුයි. අප ජීවත්වී සිටින පෘතුවිය බේරා ගන්නේ කෙසේද යන්න පිළිබදව අප කල්පනා කළ යුතුයි. ගෝලීය දේශගුණික විපර්යාසය දැවැන්ත ගැටළුවක් බවට පත්වී තිබෙනවා.
ගෝලීය දේශගුණික විපර්යාසයන් පිළිබදව වාර්තා කරන ජාත්‍යන්තර කමිටුව 2040 වන විට මේ තත්වය ලෝකයට විශාල තර්ජනයක් ගෙන දෙන බව පවසා තිබෙනවා. මෙහි සිටින කුඩා දරුවන් තව අවුරුදු 35 – 40 ගතවී වැඩිහිටියන් බවට පත්වන විට දේශගුණික විපර්යා බලපෑම අත්දකිනවා. අද මෙහි රැස්වී සිටින බොහෝ දෙනෙක්ගේ ජීවිත කාලය තුලදීම එම ප්‍රශ්නයට මුහුණදීමට සිදුවීම විශාල ගැටළුවක්. එම නිසා ගෝලීය දේශගුණය ආරක්ෂා කර ගැනීමට අප කළ යුතු වැඩකටයුතු මොනවාද පිළිබදව අවධානය යොමු කළ යුතුයි.
ජලය ඉන් ප්‍රධාන කාරණාවක් වී තිබෙනවා. අප ජලය පිළිබඳව නවතාවයකින් යුතුව සිතිය යුතුයි. ජලය අපේ වටිනාම කාරණයයි. ජලය ආරක්ෂා කිරීම සඳහා ඉදිරි වසර 10 – 15 ක කාලය වෙනුවෙන් අප සැලසුම් සකස් කළ යුතුයි. ජලය, ජල පෝෂක ස්ථාන ආරක්ෂා කරන අතරතුරම පාවිච්චි කරන ලද ජලය නැවත නැවත භාවිත කිරීමට සැලසුම්ද සකස් කළ යුතුයි. මුහුදු ජලය පරිහරණය කිරීමට හැකි ආකාරයට සකසා ගත යුතුයි. අතීතය මෙන් නොව වර්තමානයේ භාවිතයට සුදුසු ජලය සොයා ගැනීම ඉතා අපහසු තත්වයක් ඇතිවී තිබෙනවා.
සිංහල රජ කාලයේ වැඩිම වත්කමක් ලෙස හැදින්වූයේ ඉඩම් නොව ජලයයි. වැව් හිමියන් පොහොසතුන් බවට පත්වී සිටියා. ජලය විකිණීම මත වැව් සංස්කෘතිය ඇතිවුණා. ජලය ලබාගන්නා පුද්ගලයන් කුඹුරු අස්වද්දමින් ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය බවට පත්වුණා. එක් ජල බිංදුවක් වත් අපතේ නොයවන ලෙස පරාක්‍රමබාහු රජතුමා පැවසුවේ ජලයේ ඇති වැදගත්කම අවබෝධ කරගත් නිසයි. අපේ භුමිය තුල තිබෙන ජලය ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්.
සාගර ජලය ආරක්ෂා කර ගැනීමත් ඉතාමත් වැදගත්. මගේ පසුගිය නෝර්වේ සංචාරයේ ප්‍රධාන අරමුණක් වූයේ සාගරය ආරක්ෂා කර ගැනීම සඳහා නෝර්වේ උපකාර ලබාගැනීමයි. නෝර්වේ යනු ලෝකයේ පොහොසත්ම රටයි. ඔවුන්ගේ ආදායම ලබාගන්නේ ඛනිජ තෙල් හරහායි. නමුත් ඛනිජ තෙල් සදාකාලික නොවන බව ඔවුන් අවබෝධ කරගෙන සිටින නිසා ඉන් ලැබෙන ලාභය අනෙක් රටවල් මෙන් ජනතාව අතර බෙදාහරින්නේ නැහැ. ඛනිජ තෙල් නොමැති කාලයේදී ලබාගැනීම සඳහා ඔවුන් එම මුදල් අරමුදල්ගත කර තිබෙනවා.
ඔවුන්ගේ ඊළඟ අරමුණ මහා සාගරයයි. සාගරය හරහා ආදායම් උපයා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන් අවධානය යොමු කර තිබෙනවා. නෝර්වේ සමඟ එකතු වෙමින් ඉන්දියානු සාගරයේ ආදායම් උපයා ගැනීමට හැකි ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් පසුවන බවත් ඊට උදව් කරන ලෙසත් අපි ඔවුන්ට පැවසුවා. සාගර ආරක්ෂාව සහ සාගර වර්ධනය පිළිබඳව අප ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නෝර්වේ රාජ්‍යයත් සමඟ සාකච්ඡා කරනවා.
ග්‍රින්ලන්තය, කැනඩාව වැනි රටවල්වල විශාල අයිස් කුට්ටි මේ වන විට දියවෙමින් පවතිනවා. අපේ රට තරම් විශාල අයිස් කුට්ටි මුහුදට දියවී යනවා. ඒවා විශාල ගැටළු බවට පත්වෙනවා. ආක්ටික් ප්‍රදේශවල ජීවත්වන සත්ව ගහණයට එය ගැටලූවක් වෙනවා. මේ සියල්ල ගෝලීය දේශගුණ පරිවර්තනයට බලපෑම් ඇතිකරනවා.
අපි නවදිල්ලියට හෝ බීජිං නුවරට යන විට එම නගරවල ඇති පරිසර දූෂණය නිසා පුදුමයට පත්වෙනවා. අපි බොහෝ විට උත්සාහ කරන්නේ නවාතැන් ගන්නා හෝටලයේ සිටීමට හෝ වාහනයේ නැගී හැකි ඉක්මනින් ඊළඟ හමුව සූදානම් කර ඇති කාර්යාලයට හෝ ස්ථානයට යාමටයි. අඩුම තරමින් එම ස්ථානවල වායු සමන යන්ත්‍ර හෝ ක්‍රියාත්මක වෙනවා. එතරම්ම අපහසු තත්වයක් එම නගරවල ඇතිවී තිබෙනවා. ජා්‍යන්තර සමුළු පැවැත්වෙන අවස්ථාවල බෙයිජිං නගරයේ කර්මාන්ත ශාලා දෙසතියක් පමණ වසා දමන්නේ පරිසර දූෂණය අවම කර ගැනීමටයි. පසුගිය බීජිං සංචාරයට අප ඒ බව දැක්කා. නවදිල්ලි නුවරත් තත්වය එසේමයි.
අන්තර්ජාතික වාර්තාවලට අනුව තවමත් ඇමෙරිකාව, ඉන්දියාව, ජපානය, චීනය යන රටවල්වල දේශගුණික විපර්යාසයන් සඳහා අවශ්‍ය සියලුම තීරණ ගෙන නොමැති බව සඳහන් වී තිබෙනවා. ලෝකය අද තිබෙන්නේ එවැනි තත්වයකයි. එම නිසා මින් ඇතිවන හානිය හිරෝෂිමා හෝ නාගසාකි බෝම්බ පිපිරීමට වඩා දරුණු වන බව මා පවසන්නේ එම නිසායි.
අපේ ප්‍රතිපත්තිය විය යුත්තේ පළමුවෙන්ම ශ්‍රී ලංකාව තුල පරිසරය ආරක්ෂා කර ගැනීමයි. ජල සම්පත අරක්ෂා කර ගැනීමයි. රටේ වනාන්තර ප්‍රමාණය අඩුවෙමින් පවතිනවා. ජාත්‍යන්තර වශයෙන් රටවල් දැන් අවධානය යොමු කරන්නේ මේ තත්වය පාලනය කර ගැනීමටයි.
2015 පැරිස් නුවරදී ජනාධිපතිතුමාගේ සහභාගිත්වයෙන් ජාත්‍යන්තර දේශගුණික ගිවිසුමකට එළඹුණා. සමස්ත ලෝකයට එම ගිවිසුමට ඇතුලත් වී සිටින අවස්ථාවක අමෙරිකාව ඉන් ඉවත් වී තිබෙනවා. නමුත් ශ්‍රී ලාංකිකයන් ලෙස අපි මෙම ගිවිසුම ආරක්ෂා කළ යුතුයි.
පසුගියදා ඇතිවූ සුලාවේසී සුනාමිය පිළිබදව අපි කතා කරනවා. එහිදී බොහෝ දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණේ වතුරට නොව සුනාමිය සමඟ පැමිණි මඩට යටවීමෙනුයි. එය සිතීමට පවා අපහසු තත්වයක්. වර්තමානයේ ඇමෙරිකාවේ ඇතිවන ජල ගැලීම් සහ සුළි සුළං පිළිබදව අවධානය යොමු කරන්න. එකක් අවසන් වන විට තවත් එකක් ආරම්භ වෙනවා. ශ්‍රී ලංකාවේ මැයි මාසයට වඩා උෂ්ණත්වයක් ජූනි මාසයේ පැවතුනා. එවැනි දේශගුණික විපර්යාසයන් ඇතිවෙනවා.
රටක් ලෙස අපේ ප්‍රධාන අරමුණ විය යුත්තේ ජලය සහ පරිසරය ආරක්ෂා කර ගැනීමයි. රට තුල ඇති ජලයත්, සාගර ජලයත් යන දෙකම අපි ආරක්ෂා කර ගත යුතුයි. ජනාධිපතිතුමා පරිසර අමාත්‍යතුමා ලෙස පොලිතීන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග අරගත්තේ ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. ඉදිරි වසර 10 තුල අප මේ සම්බන්ධයෙන් කටයුතු නොකලොත් ශ්‍රී ලංකාවට අපහසු තත්වයකට මුහුණ පෑමට සිදුවෙනවා.
අපේ අතීත වාරි ශිෂ්ඨාරය ඇතිවුනේ ජලය පදනම් කරගෙනයි. වර්ෂාව ලැබුණු ආකාර හේතුවෙන් කුරුඳු ආදි කුළුබඩු ශ්‍රී ලංකාව තුල හොදින් වගා කිරීමේ හැකියාව ලැබුණා. ලෝකයේ ගුණාත්මක බවින් ඉහලම තේ, රබර්, පොල් වගා කිරීමට අපට හැකිවුණා. නමුත් වර්තමානයේ එම ප්‍රදේශවලත් නියඟය ඇතිවීම සිදුවෙනවා. එය එක කන්නයක් නොව කන්න හතරටම බලපෑවා. රටේ ආර්ථිකයට විශාල ගැටළුවක් වුණා. එම නිසා ජලය ආරක්ෂා කිරීමට අප විශේෂ උනන්දුවකින් ක්‍රියා කළ යුතුයි.
2015 පැරිස් ගිවිසුම වැනි ජාත්‍යන්තර ගිවිසුම් සමඟ එකතුවෙමින් ජාත්‍යන්තර සහායත් ලබාගනිමින් අප කටයුතු කරනවා. අපේ විදේශ ප්‍රතිපත්තිය රාජ්‍ය පාලනයටම පමණක් නොව පරිසර ආරක්ෂාව සඳහා ද යොදා ගත යුතුයි. සංවර්ධනය සිදු කරන අතරම පරිසරයත් ආරක්ෂා කර ගත යුතුයි.
අපේ ආණ්ඩුවේ කිසිම ආධාර උපකාරයක් ලබා නොගෙන මෙම නාමල් උයන පවත්වාගෙන යන රාහුල නායක ස්වාමින් වහන්සේට මම අවසාන වශයෙන් විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා.