“පෝසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් “ගම් දහසක් – ව්‍යාපෘති දහසක්” වැඩසටහන ලබන ජුනි මස 02 වැනිදා ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ලංකාවේ සමස්ත ජනගහනයෙන් 80%කට වඩා (මිලියන 14කට අධික පිරිසක්) ජීවත් වන්නේ ග්‍රාමීය ප්‍රදේශවල බැවින් ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යය වී ඇති බවයි. මේ සඳහා 2026 වසරේ අයවැයෙන් රුපියල් මිලියන 25,000ක මුදලක් වෙන් කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම අවම වශයෙන් ග්‍රාම නිලධාරි වසම් තුනක බැගින්, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අනුමැතිය ලත් ව්‍යාපෘති දහසක් මුල් අදියරේදී ආරම්භ කෙරේ. ජන සහභාගිත්ව ප්‍රවේශයක් සහිත “ප්‍රජා ශක්ති” ජාතික ව්‍යාපාරය යටතේ දැනටමත් සෑම ග්‍රාම නිලධාරි වසමකම ප්‍රජා සංවර්ධන සභා පිහිටුවා ඇති අතර, එම සභා මඟින් යොමු කළ ව්‍යාපෘති 106,555ක් අතුරින් නිෂ්පාදන ආර්ථිකය, සෞඛ්‍ය සහ යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍රවලට අදාළ ව්‍යාපෘති 22,610ක් පමණ මේ වන විට අනුමත කර ඇත. එමෙන්ම ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රුපියල් මිලියන 1,670ක ප්‍රතිපාදන ද වෙන් කර අවසන්ය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධિපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ගුණරත්න මහතා සඳහන් කළේ මෙම වැඩසටහන ප්‍රවේශයන් පහක් ඔස්සේ ක්‍රියාත්මක වන බවයි. මහා පරිමාණ සංවර්ධනය, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීම, මානව සම්පත් සංවර්ධනය (අධ්‍යාපන හා වෘත්තීය පුහුණු) සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය ඊට ඇතුළත් වේ. ජුනි 2 වැනිදා ආරම්භ වන්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සංවර්ධනය කිරීමේ දෙවන ප්‍රවේශය වන අතර, මෙම මුදල් නිසි කළමනාකරණයකින් යුතුව යොදවා වර්ෂය අවසන් වීමට පෙර ව්‍යාපෘති නිම කිරීමට කටයුතු කරන බව අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මේනක හේරත් මහතා ප්‍රකාශ කළේය.















