ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටළුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවී හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිදු කිරීමට නියමිතයි. ජනාධිපතිවරණය සහ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීම ඉලක්ක කොට ගත් නව දේශපාලන සන්ධානය බිහිකිරීමේ අවබෝධතා ගිවිසුම අත්සන් තැබීම හෙට පෙරවරු නවයට මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේදී පැවැත්වීමට සියලූ කටයුතු මේ වන විට සූදානම් කොට තිබේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව සිටින ඒකාබද්ධ විපක්ෂයේ සියලූ දේශපාලන පක්ෂ වලට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය නොකරන පිළිගත් දේශපාලන පක්ෂ දහයක් මෙහි දී සන්ධානගත වන බව අද (25) පෙරවරුවේ කොළඹ පොදු ජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දිලූම් අමුණුගම මහතා පවසයි.
මව්බිම ජනතා පක්ෂය, ලංකා කම්කරු එක්සත් පෙරමුණ, තමිල එක්සත් නිදහස් පෙරමුණ, ඊලවර් ප්රජාතන්ත්රවාදී පෙරමුණ, මුස්ලිම් උලමා පක්ෂය, ලිබරල් පක්ෂය, නව සිහල උරුමය, ප්රජාතන්ත්රවාදී ජාතික ව්‍යාපාරය, එක්සත් ලංකා මහා සභාව, භූමිපුත්‍ර පක්ෂය යන දේශපාලන පක්ෂ හෙට දිනයේ අවබෝධතා ගිවිසුමට එක්වීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙහිදී සන්ධානය සමග එක් වෙන්නේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් කරුණු දැක්වූ දිලුම් අමුණුගම මහතා සඳහන් කළේ තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානයට එක්වීම සඳහා එකඟතාවයකට පැමිණ නොමැති බවයි.
පක්ෂ දෙක අතර සන්ධාන ගත වීමකට හෝ ඉදිරි මහ මැතිවරණයකින් ජයග්‍රහණය කොට එක් ව ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් හෝ කිසිදු මත ගැටුමක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අතර නොමැති බව ඔහු කියා සිටියේය.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර ගැටළුවක් පවතින නමුත් වෙනත් පක්ෂයකට ජනාධිපති අපේක්ෂක ධූරය පිරිනැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිසේත්ම සූදානම් නොවන බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේ ය.
එම ගැටලූව නිරාකරණය වුවහොත් ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව සන්ධානය හා එක්වනු ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් විශ්වාසය පළ කළේ ය.