රුපියල් මිලියන 2,000 ට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැන වූ 25%ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව පසුගිය 15 වනදා මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එම ප්‍රකාශය කරමින් ඔහු සන්නිවේදනය කිරීමට උත්සහ කළේ; වෘත්තීය සමිති ඇතුළු අනෙකුත් පාර්ශව නිකරුණේ කලබල වූවාට, ආණ්ඩුවට ඊපීෆ් හෝ, ඊටීෆ් හෝ අනෙකුත් කිසිම කම්කරු අරමුදලක් කොල්ල කෑමට තුන් හිතකවත් අදහසක් නොතිබූ බවයි.
නමුත්, ඊට දින දෙකකට මත්තෙන් (12 දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් ඇමතූ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණඩාර කියා සිටියේ “අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල පිළිබඳව, පනත සංශෝධන අවස්ථාවේ දී සානුකම්පිතව ක්‍රියා කරනවා.” යනුවෙනි. නමුත් සේවක අර්ථ සාධක අරමුදල හෝ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල හෝ වෙනත් කම්කරු අරමුදලට අත තබන්න ආණ්ඩුවට උත්සහ නොකළා නම්, මන්ත්‍රී යාපා බණ්ඩාරට මෙවන් ප්‍රකාශයක් කරන්න සිදු වෙනවා ද ? යන පැහැදිලි ප්‍රශ්නය මතුවෙන්නේ ඇමති බැසිල්ගේ ප්‍රකාශය හා සැසදීමේ දී ය. මෙවැනි එකිනෙකට පරස්පර ප්‍රකාශයන් අතරේ පසුගිය දා (9 දා) කම්කරු අමාත්‍යවරයා ද මෙම අධිභාර බද්ධට සිය විරෝධය පල කොට තිබුණි. ඊට අමතරම මෙම නව පනත් කෙටුම්පතට වාසුදේව නානයක්කාර,ආචාර්ය බන්දුල ගුණවර්ධන, දිනේෂ් ගුණවර්ධන ,උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ මහින්ද අමරවීර ඇතුළු ඇමැතිවරුන් කිහිප දෙනකුම විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අනුව කඩිමුඩියේ මෙම නව අධිභාර බදු පනත කෙටුම්පත් වන්නේ කාගේ වුවමනාවට ද? යන ප්‍රශ්නය අප ඉදිරියේ මතු කරයි.
නමුත් මේ එකිනෙකට වෙනස් සිදුවීම් ඔස්සේ අප තේරුම් ගත යුත්තේ මේ පනත කෙටුම්පත් කරමින් ආණ්ඩුව මුට්ටිය දමා බැලුවේ, කම්කරුවන් හා වෘත්තීය සමිති නිහඬයි නම්, හීන් සීරුවේ මෙම අරමුදල් කොල්ල කෑමටය. නමුත් පනත කෙටුම්පත් කළ මොහොතේ පටන් ඊට එරෙහිව වෘත්තීය සමිති ව්‍යාපාරය සහ කම්කරුවන්ගෙන් නැගී ආ විරෝධය; මුදල් අමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් ‘කම්කරුවන්ගේ ඊ.පී.එෆ්. හෝ ඊ.ටී.එෆ් හෝ අනෙකුත් සමාජ ආරක්ෂණ අරමුදල් 25% අධිභාර පනත හරහා ආවරණය නොවන බැව්’ කියන තැනට තල්ලු කළේය. නමුත් එය හුදු ප්‍රකාශයක් පමණක් නිසාවෙන් හා එසේ ප්‍රකාශයක් නිකුත් කළ පමණකින්, කෙටුම්පත් කළ පනත අවලංගු වීමක් සිදු වේ යැයි අපේක්ෂා නොකරමු. මන්ද මේ ආණ්ඩුව බලයට පැමිණි දා පටන් මේ දක්වා කෙරෙන ‘ප්‍රකාශ’ ක්‍රියාවට නැංවීම් අත්දුටු බැවිනි.
එනිසාවෙන් ඇමති බැසිල් කියනා ලෙස කම්කරු මුදල් මත මෙම අධිභාර බද්ධ අයකිරීමට ආණ්ඩුව සද්-වුවමනාවක් තිබුණා නම් 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතේ විධිවිධානයන්ට මෙම නව පනත කෙටුම්පත් නොකරනු ඇත. නැතිනම් දේශීය ආදායම් බදු පනතේ ‘සමාගම්’ ලෙස නිර්වචනය කර ඇති සමාජ ආරක්ෂණ අරමුදල් නව පනත කෙටුම්පත් කිරීමේ දී වලංගු නොවන බව දක්වමින් වගන්තියක් එක් කිරීමට කටයුතු කළ යුතුව තිබුණි. නැතිව කුරුමානම වැරදුණු පසුව; වෘත්තිය සමිති මෙම පනත තේරුම් නොගත්තා වැනි ප්‍රකාශ කොට, ලෙස්සා යාමට මුදල් ඇමතිවරයාට කිසිදු අයිතියක් නැත.
එබැවින් 25% අධිභාර පනත් කෙටුම්පත කඩිනමින් සංශෝධනයට ලක් කොට, මේ හරහා සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු සියලු ම සමාජ ආරක්ෂණ අරමුදල් මෙම අධිභාරයට යටත් නොවන බව ප්‍රසිද්ධ කිරීමට රජය ක්‍රියා කළ යුතුය. ඉන් නොනැවතී, මේ වන විටත් ක්‍රියාත්මක වන 2017 අංක 24 දරණ දේශීය ආදායම් පනතට අදාලව සමාජ ආරක්ෂණ අරමුදලේ පොළී ආදායම මත අය කර ගන්නා 14%ක ආදායම් බද්ධ ද අවලංගු කළ යුතුය. නැතිව, ‘මේ පසුගිය රජය සමයේ පැනවූ බද්ධක්’ වැනි කතා කීම පලක් නැත. මන්ද කුමන රජයක් අදාල බද්ධ පැනෙව්වත්, ඒ බදු පනවා ඇත්තේ අහිංසක කම්කරුවන් දහඩිය මහන්සියෙන් එක් රැස් කරගත්තා වූ සිය සමාජ ආරක්ෂණය මතය.
එබැවින් වත්මන් ආණ්ඩුව විසින් කෙටුම්පත් කර ඇති නව අධිභාර බදු පනතින් සමාජ ආරක්ෂණ අරමුදල් නිදහස් කරන බවට වූ සංශෝධනයක් කෙටුම්පත් කිරීමට රජය ක්‍රියා කළ යුතු අතර ම, සමාජ ආරක්ෂණ අරමුදල්වල ආදායම මත දැනට අය කෙරෙන සියලු ම බදු අවලංගු කළ යුතු බව රජයට අවධාරණය කර සිටිමු. එතුවක් නොනැවතී මෙම සටන වෘත්තීය සමිති, කම්කරුවන් සහ මහජනතාව එකට එක් වූ පුළුල් ප්‍රවාහයක් ලෙස සංවිධානය වී සටන් වදින බව ද රජයට අවධාරණය කරමු.
සටහන -ප්‍රොටෙක්ට් සංගමය-