සෞඛ්‍ය ක්ෂේත්රයේ සියලු කණ්ඩායම් රටෙහි ඖෂධ තත්ත්වය කළමණාකරණය කර ගනිමින් සිටින බවත්, එළඹෙන මාසය වන විට මෙහි ඇතැම් ගැටලු සහ එහි පවතින තත්ත්වයන් විසඳා ගැනීමට හැකි වනු ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ පකිස්ථානයේ ප්රමුඛ පෙළේ ඖෂධ සමාගමක් වන CCL සමාගම, ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහ කොමසාරිස් කාර්යාලය හරහා පාකිස්තානු, ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය මගින් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට අත්‍යවශ්‍ය රුපියල් ලක්ෂ 100 ක් පමණ වටිනා වකුගඩු රෝගීන් සඳහා වන ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අද (19) ප්රදානය කිරීමේ අවස්ථාවේදීය.
ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීමේදී මිත්‍රශීලී රටවල් රැසකින් ඉහළ සහයෝගයක් මෙරටට ලැබෙන බවත්, ඒ තුළ ඖෂධ කළමනාකරණය අද වන විට සාර්ථකව සිදුකරගෙන යමින් පවතින බවත් අමාත්‍යවරයා කීය .ගෝලීය ව්‍යසනය හා අනිකුත් අර්බුද හමුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ පෙර නොවූ විරූ දුෂ්කරම කාලයක් උදා වූ බවත් එහෙත් මේ වනවිට එම අභියෝගයන්ට මුහුණ දෙමින් සාර්ථකව කළමනාකරණය කර ගනිමින් සිටින බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
රටට ඖෂධ ගෙන්වීමේ සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඔස්සේ ගතවන කාලය මේ වන විට විශාල ලෙස අඩු කර ඇතැයිද මෙවැනි ඖෂධ ආධාර ලැබීම තුළ තවදුරටත් ඖෂධ කළමණාකරණය වඩාත් සාර්ථකව සිදු කළ හැකි යැයිද හෙතෙම පැවසීය.
අත්‍යවශ්‍ය මොහොතක මෙවැනි ඖෂධ සැපයීමට එක් වීම පිළිබඳව පකිස්තානු රජයටත් ඒ වෙනුවෙන් කටයුතු කළ එරට සමාගමටත් පකිස්ථානු මහ කොමසාරිස්වරයා ඇතුළු එරට ජනතාවටත් ස්තූතිය පිරිනමන බව කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය. යුද්ධය පැවති කාල සීමාව තුළ ද යුදමය ආධාර සපයමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් සෑම විටම පකිස්ථානය ඉදිරිපත් වූ බවත් ඉදිරියටත් රටෙහි අනෙකුත් අවශ්‍යතාවන් හමුවේ සහයෝගය වැදගත් බවත් අමාත්‍යවරයා මෙහිදී කීය.
විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්රයේ විවිධ වැඩසටහන් සඳහා පාකිස්ථානු රජය සහ එහි ආයතන ලබාදෙන සහයෝගය ඉදිරියේදීද දෙරට අතර මනා සම්බන්ධතාවය තුළ වඩාත් කාර්යක්ෂම හා ප්රතිඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.