22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේ දී යටිකූට්ටු සංශෝධන ගෙන ආවොත් ඊට නිසි පිළිතුරු දෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් පිළිගෙන මූලික කෙටුම්පත සම්මත කරනවා නම් පක්ෂයි බව උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04) බොරැල්ලේ පිහිටි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන කාර්යාලයේ දී පැවති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවේදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ මහතා “22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා වගේම ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ද දැන් ලැබී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ මගපෙන්වීම අනුව පමණක් කටයුතු කරනවානම් එම 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට උත්තර ලංකා සභාගය තුළ නියෝජනය වන පක්ෂවල පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් සූදානම්. නමුත් ඉදිරිපත් කරන ලද මූලික කෙටුම්පතට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබෙන සංශෝධන හැර කාරක සභා අවස්ථාවේදී හොඳ හෝ නරක හෝ වෙනත් සංශෝධන ඉදිරිපත් කිරීමට යනවා නම් අපට එම අවස්ථාවේදී තීරණය කරන්න වෙනවා මේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කළ යුතු දේ ගැන.
අපි එහෙම කියන්න හේතුවක් සහිතවයි. ඔබ දන්නවා මෛත්‍රී-රනිල් යහපාලන ආණ්ඩුව සමයේ යම් පනතකට තරුණ නියෝජනය වැඩි කිරීමට අදාළ සංශෝධන ගෙනාවා. නමුත් එම පනතට කාරක සභා අවස්ථාවේදී වෙනත් සංශෝධන රැසක් ගෙන ආවා. එම සංශෝධන ඇතුළත් කළාට පසුව පැවැති පනත හා නව පනත අහසට පොළොව වගේ වෙනස්. ඒ නිසා එවැනි කූඨ ක්‍රමවේදයක් අනුව යමින් වෙනත් හොඳ සංශෝධන දෙක තුනක් සමග තමන්ට උවමනා යටිකූට්ටු සංශෝධන කිහිපයක් ගෙන ඒමේ අවදානම අප ඉදිරියේ තිබෙනවා. ඒ නිසා තමයි ජාතික සංවිධාන පෙන්වා දෙන්නේ 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය අස්සේ රටට අහිතකර වෙනත් සංශෝධන, කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කිරීමට පුළුවන්, කියා.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ වෙලාවේ සිදු වූ මෙවැනි දෙයක් පිළිබඳව මා නිදසුනක් කියන්නම්. එදා පුවත්පත්වල 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන වර්ණනා ලියපු අය පෙන්වා දුන්නා, ‘අගමැති රනිල් වික්‍රමසිංහ කොතරම් බලයට කෑදර නැති කෙනෙක් ද කියනවානම් ජනාධිපතිවරයා ඉවත් වුවහොත් හෝ මියගියහොත් හෝ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඒ බලය යන්නේ කථානායකවරයාට’ කියා. නමුත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී සිදුකළ සංශෝධනවලින් අනතුරුව, ඉහත පුවත ආකාරයේ දෙයක් ජනාධිපතිට සිදුවුවහොත් බලය යන්නේ අගමැතිට කියන ආකාරයට එය සැකසී තිබුණා. මූලික කෙටුම්පතේ තිබෙන්නේ එකක්. නමුත් කාරක සභා අවස්ථාවේදී වැඩේ දෙන්නේ ඒ විදිහටයි. මේ අය එවැනි කැත අතීත භාවිතාවකට හිමිකම් කියන නිසා අපි ආණ්ඩුවට දැඩි කොන්දේසියක් පනවනවා. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ශ්‍රේෂ්ඨාධිකරණය දී ඇති සංශෝධන පමණක් සහිතව සම්මත කරන්නේනම් අපි ඊට පක්ෂ වෙනවා. හැබැයි ඒ සංශෝධනවලට අමතරව වෙනයම් යටිකූට්ටු සංශෝධන ගෙන ඒමට පටන් ගත්තොත් අපේ සහයෝගය ලබාදීම පිළිබඳව අපට යළි සලකා බලන්න සිද්ධ වෙනවා. එහෙම තත්ත්වයක් ආවොත් අපි තීන්දු කරලා තිබෙනවා, ‘අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනම පාර්ලිමේන්තුවේ රැස්වෙලා, ඇති වී තිබෙන තත්ත්වය සමාලෝචනය කරලා, ගත යුතු අවසන් පියවර ඒ අවස්ථාවේ දී ගත යුතුයි’ කියලා. මේක අපි කියන්නේ සද්භාවයෙන්. අපිට ඕනේ නැහැ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ දැනට අපි පිළිගන්නා කෙටුම්පත සම්මත වීම වැළැක්වීමට. කඩාකප්පල්කාරී වැඩ කරන්න අපට උවමනා නැහැ. අපිට උවමනා එම කෙටුම්පත සම්මත කිරීමට. නමුත් ඒක ඉස්සරහට දාලා වෙන වෙන අහිතකර සංශෝධන ගෙන එනවා නම් අපි ඒකට විරුද්ධයි. එහෙම වුවහොත් අපේ මන්ත්‍රී කණ්ඩායමේ සහයෝගය ලබා ගැනීමට බැරි වීමේ අවදානමක් තිබෙනවා.
රාජ්‍ය සේවකයාට වැටුප් ගෙවා ගැනීමට බැරි වේවි, වැටුපෙන් අඩයි ගෙවීමට හැක්කේ, වැනි විවිධ ප්‍රචාරයන් පසුගිය දිනවල පැතිර ගියා. නමුත් එම ප්‍රචාරයන් අසත්‍ය බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසා තිබුණා. එහෙම දෙයක් එන මාසයේ වෙන්නේ නැහැ, කියා කෙනෙකුට කියන්න පුළුවන්. නමුත් මේ විදියට ගියොත් කවර මාසයක හෝ මේක වෙන්න ඉඩ තිබෙන දෙයක්. දැන් බලන්න, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් මුදල් අච්චු ගැසීම නතර කරන ලෙසට කොන්දේසියක් පනවා තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ එක් අංශයක් දැනටමත් ස්වාධීන අංශයක් බවට පත් කිරීමට කටයුතු කරමින් සිටිනවා.
අපි දන්නවා ඉතිහාසය ගත්තත් පළමුවැනි පරාක්‍රමබාහු රජතුමාගේ කාලයේ තමයි අපේ රටේ සශ්‍රීකම රාජධානිය තිබුණේ. පසුව එම පොලොන්නරුව රාජධානිය දුර්වල වෙමින් ගියා. නිශ්ශංකමල්ල රජතුමාගේ කාලයේ යම් තරමක් හොඳින් පැවතියා. අවසානයේදී දවස් දෙකකට රජ වූවන් ද සිටියා. අන්තිමට මේ අස්ථාවර කාලය ලීලාවතී රැජින දක්වා ආවා. පුරාවිද්‍යා ගවේෂකයන්ට සිය ගවේෂණවලදී බහුලව හමුවන්නේ එම පොලොන්නරුව රාජධානියේ අස්ථාවර කාලයේ භාවිත කළ කාසි. ඒ නිසා ඉතිහාසඥයන්, පුරාවිද්‍යා ගවේෂකයන් විශ්වාස කරනවා, එම කාලයන්හි පැවැති ආර්ථික අස්ථාවරත්වය නිසා කාසි වැඩිපුර භාවිතා වෙන්න ඇති, කියා. වෙන කාලවලට අදාළව හමුවන කාසි ප්‍රමාණයන්ට වඩා මෙම කාලය තුළ හමුවන කාසි ප්‍රමාණයන් ඉතාමත් අධිකයි. ඒ ආකාරයට ඉතිහාසය පුරා ආර්ථිකය අස්ථාවර කාලවල මුදල් වැඩියෙන් අච්චු ගැසීම සිදුව තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය පවා ආර්ථිකයේ තත්ත්වය බලා ඩොලර් වැඩිපුර අච්චු ගසන අවස්ථා තිබෙනවා. මෙතැන ඇත්තේ අසීමිතව මුදල් අච්චු ගැසීමෙන් සිදු වන හානිය පමණයි.
නමුත් ‘සම්පූර්ණයෙන්ම මුදල් අච්චු ගැසීම නතර කළ යුතුයි’ කියන්නේ ‘බැංකු වැටෙන්න දීලා බලා සිටිය යුතුයි’ කියන එක. හර්ෂ ද සිල්වා මහත්තයා වගේම ජනාධිපතිතුමන් ද පවසා තිබුණා, ‘බැංකු වැටෙයි’ කියා. බැංකු වැටෙනවා නම් ඒක තමයි නොකිව යුතුම දේ. එහෙම කියපු ගමන් බැංකු වඩා වේගයෙන් කඩා වැටෙනවා. මම කියන්නේ මුදල් අච්චු ගසමින් ඉන්න කියන එක නොවෙයි. නමුත් මුදල් අච්චු ගැසීම නතර කළොත් මෙවැනි අර්බුදකාරී මොහොතක රජයේ සේවකයාගේ වැටුප් ගෙවන්නේ කොහොමද?
බදු ගැහුවාට එම ආදායම ඒ විදියටම ලැබෙනවාද? නැහැ. දැන් බලන්න සුරාබදු වැඩි කළාම, මත්පැන් අලෙවිය අඩු වෙලා. අලෙවිය අඩු වුණාම අපේක්ෂිත බදු මුදල ලැබෙන්නේ නැහැ. මේ එකතු කරගන්නේ බදු නොගෙවන ප්‍රකෝටිපතියන්ගේ බදු මුදල් නොවෙයිනේ. මේ ගහන සියලු බදු සාමාන්‍ය ජනතාවට බලපාන බදු. සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගහලා රීරි මාංශය සූරා ගෙන මහා භාණ්ඩාගාරයට එකතු කළත් ඒක රජයේ සේවකයාට වැටුප් ගෙවීමට මදි වෙනවා. මදි පාඩුවට මුදල් අච්චු ගහන්නත් බැරි නම් මේ පාලකයන්ට වෙන්නේ තිබෙන මුදලින් වැටුපෙන් කොටසක් හෝ ගෙවීමට. මේ විදියට ගියොත් ඊළඟ මාසයේ නොවුණත් කවදහරි එක මාසයක් එනවා එහෙම කිරීමට සිදුවන.
එක වරක් මහ බැංකු අධිපතිතුමන් පැවසුවා, තව මාස 5කින් ආර්ථිකය ස්ථාවර වෙනවා, කියා. දැන් කියනවා, ලබන අවුරුද්ද වෙනකොට ආර්ථිකය ස්ථාවර වෙනවා, කියා. අපට තේරෙන විදියට නම් මීළඟ අවුරුද්දේ මීට වඩා අමාරු වෙනවා. නමුත් එතුමා හැමවිටම සුබ චිත්‍රයක් මවනවා. ඒක නරක නැහැ. එහෙම චිත්‍රයක් මවන ගමන් ඒකෙ අනෙක් ප්‍රතිඵලය ලැබෙන පියවර කරා තල්ලු වෙනවා.
මේ පරස්පරය ඔවුන් අපට පැහැදිලි කළ යුතුයි.
මට මතකයි ඉන්දියාවේ 90 දශකයේ මෙහෙම ප්‍රශ්නයක් ආවා. එහිදී එවකට ඉන්දීය ආණ්ඩුව කීර්තිමත් ආර්ථික විශේෂඥයකු වූ ඒ වන විට විදේශගතව සිටි මන්මෝහන් සිං මැතිතුමා ඉන්දියාවට කැඳවූවා.( පසුව 2004දී එතුමන් ඉන්දියාවේ 13 වැනි අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වූවා.) එහෙම ගෙන්වලා එවකට සිටි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එතුමන්ට පැවසුවා, ‘මම දේශපාලනය බලාගන්නම්. ඔයා රටේ ආර්ථිකය බලාගන්න’ කියලා. එදා ඉන්දියාව තුළ ක්‍රියාත්මක වූයේ මන්මෝහන් සිං මැතිතුමා ඇතුළු ඉන්දීය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් විසින් ගත්තු තීරණ යි. ඒ ගත්තු තීරණවල නිවැරදි බව විසින් අද ඉන්දියාව ලෝකයේ 5 වැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රට බවට පත්ව තිබෙනවා. එක පැත්තකින් එතෙක් ඉන්දියාවේ පැවැති පවුල් පාලනය අවසන්වීම ඉන්දියාවට නැගී සිටීමට රුකුලක් වුණා. ඒ වගේම එදා මන්මෝහන් සිං ඇතුළු ආර්ථික විශේෂඥයන් දමපු පදනම අදටත් ඔවුන් රටක් ලෙස ඉදිරියට ගෙන යමින් තිබෙනවා.
නමුත් අද අඩුම තරමින් අපේ රටේ දේශීය ආර්ථික විශේෂඥ කණ්ඩායමක් රැස්කරලා, ‘කළ යුත්තේ කුමක්ද?’ කියා අසනවා ද?
අපේ රටේ කර්මාන්තකරුවන් සිය නිෂ්පාදන පිටරටවල අලෙවි කරලා සොයාගත්තු විදේශ විනිමය, ඩොලර් මිලියන 45කට ආසන්න මුදලක් රට තුළට ඇවිත් නැහැ. මම දැක්කා මහ බැංකු අධිපතිතුමන් තේ නිෂ්පාදන කර්මාන්තයේ නියැලී සිටින පිරිසට පවසනවා, ‘මම තරවටු කරන්න කැමැති නැහැ. ඔබ උපයන විදේශ විනිමය වහාම රටට ගෙන එන්න’ කියලා. ඒ අයට තරවටු නොකළාට සාමාන්‍ය මිනිහාට ‘වැට් එකයි, අරකයි, මේකයි’ ඔක්කොම බදු ගහලා කරන්න පුළුවන් උපරිම තරවටුව කරනවා. අර අයට ‘බබා පාට් එක’ දානවා. ඩොලර් තියෙන්නේ ඒ අය අතේනෙ. අර ඩොලර් බිලියන 45ත් කොහොම හරි මේ රටට ගෙන එන්න ඕනේ. ඒකට නීති හදන්න ඕනේ. නමුත් ඒ කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. මේ ආකාරයේ දෙබිඩි භාවිතයක් එක්ක අපේ රටේ ආර්ථිකයට යළිත් හුස්ම දෙන්න බැහැ. මෙතැන තිබෙන්නේ පරස්පරයක්. එක පැත්තකින් තමන්ගේ මහා ධනකුවේර ගජ මිතුරන්ට රිද්දන්නත් බැහැ. මේ අය අනෙක් පැත්තෙන් සාමාන්‍ය ජනතාවට මහ බර පටවන එක දවසින් දවස වැඩි කරනවා. මේ තත්ත්වය පිළිබඳව අපි අපේ දැඩි අවධානය යොමු කරනවා.
අපි මේ මාසයේ මැද භාගයේ පටන් උත්තර ලංකා සභාගය හැටියට මාතර දිස්ත්‍රික්කයෙන් රැස්වීම් මාලාවක් අරඹනවා. එය රට පුරාම ගෙන යමින් මහජනයා මේ තත්ත්වයට එරෙහිව පෙළගැස්වීම සඳහා කටයුතු කරනවා.” යැයි විමල් වීරවංශ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
මෙම මාධ්‍ය හමුවට උත්තර ලංකා සභාගයේ ලේකම්, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී වීරසිංහ මහතා ද එක්ව සිටියේය.