පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව ) සඳහා ආයතන 363ක් කැඳවීමට හැකි වුවත් මෙතෙක් ආයතන 102ක් කමිටුව හමුවට කැඳවා නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි.
ඒ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ඒ මහතාගේ සභාපතිත්වයෙන් 19 වනදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
කාරක සභාව අරම්භයට පෙර සභාපතිවරයා විසින් කෝප් කමිටුවේ අරමුණු හා මෙතෙක් කමිටුවේ ක්‍රියාකාරිත්වය පිළිබඳව පුර්ණ ඉදිරිපත් කිරීමක් සිදු කළේය. එය කෝප් කමිටු ඉතිහාසයේ නව සභාපතිවරයෙකු විසින් එලෙස පැහැදිළි කිරීමක් සිදු කළ පළමු අවස්ථාව ලෙසයි වාර්තා වන්නේ.
2017 සහ 2018 වර්ෂයන් සඳහා වූ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරික්ෂා සඳහා මෙදින කෝප් කමිටුව හමුවට ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව කැඳවා තිබුණි.
ඒ අනුව වසර 27 ක් තුළ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව ලාභ ලබා ඇත්තේ වසර 4ක් පමණක් බව මෙහිදී විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙලෙස දිගින් දිගටම පාඩු ලබන වැවිලි සංස්ථාව සතුව පවතින තේ කර්ම්න්ත ශාලා 10න් 7ක් අක්‍රීය තත්ත්වයේ පවතින බවද මෙහිදී හෙළිවිය.කෙසේ වෙතත් විගණනය විසින් පෙන්වා දුන්නේ අක්‍රිය තේ කර්මාන්තශාලා වල නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට හෝ බදු දීම සම්බන්දයෙන් සංස්ථාව ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බවයි.
සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබීමට මුලිකම හේතුව ප්‍රාග්ධන හිඟය බව ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථා නිලධාරීහු කාරක සභාවට දැනුම් දුන්හ. ප්‍රාග්ධන හිඟය හේතුවෙන් පොහොර හා අදාළ වල් නාශක නිසි කලට භාවිතා නොකිරීමද මෙලස පාඩු ලැබීමට හේතුවක් වූ බව එම නිලධාරිහු වැඩි දුරටත් අදහස් දක්වමින් පැවැසුහ. කෙසේ වෙතත් වැවිලි සංස්ථාව පාඩු ලැබීමට මුලික හේතුව ප්‍රාග්ධන හිඟයම නොවන බව කාරක සභාව විසින් අදාළ නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. ඒ අනුව වැවිලි සංස්ථාවේ ඉතා අධික සේවක පිරිවැය පිළිබඳව දත්ත ඉදිරිපත් කරමින් කාරක සභාව කරුණු ඉරිපත් කළ අතර ශ්‍රී ලංකා වැවිලි සංස්ථාවේ සේවක පිරිවැය 75% පමණ වන බව එහිදී අනාවරණය විය.
මේ අතර වැවිලි සංස්ථාව සතුව පවතින ඉඩම් බදු පදනම් මත ලබාදීමෙන් අනතුරුව වෙනත් පාර්ශව විසින් අත්පත් කර ගැනීම් පිළිබඳව දීර්ඝ ලෙස කාරක සභාව තුල සාකච්ජා විය. ඒ අනුව එලෙස නීතිවිරෝධී ලෙස අත් කරගෙන ගෙන ඇති ඉඩම් නැවත ලබා ගැනීමට අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම ශ්‍රී ලංකා වැවිලි සංස්ථාව සතුව පවතින ඉඩම් වහාම සම්පුර්ණයෙන් නැවත මැනුම් කිරීමටද, මේ දක්වා වැවිලි සංස්ථාව විසින් බදු පදනමින් ලබාදුන් ඉඩම් මොනවාද , එම ඉඩම් ලබාදුන් ආයතන හා පුද්ගලයන් කව්රුන්ද, ඒවා සඳහා ගිවිසුම් ගතවූ මුදල්,බදු පදනමින් ලබාදුන් ඉඩම් වලින් ලබාගත් අදායම් ඇතුළත් සවිස්තරමක වාර්තාවක් කාරක සභාවට ලබාදෙන ලෙසද සභාපතිවරයා විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මේ අතර වර්තමානය වන විට වැවිලි සංස්ථාව විසින් ආයතනයේ සේවකයින් සඳහා සේවක අර්ථසාධක අරමුදල ,සේවක භාරකාර අරමුදල ඇතුළු විවිධ ගෙවීම් බිලියන 1.5ක් ගෙවීමට ඇති බවද මෙහිදී හෙළිවිය. ඒ අනුව වහාම මැදිහත්වී ඉදිරි මාස දෙක තුළ අදාළ ගෙවීම් සිදු කර අවසන් කිරීමට වැඩපිළිවෙලක් සකස් කරන ලෙසද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
එමෙන්ම වැවිලි සංස්ථාවේ 2024 -2028 කාලය සඳහා සංයුක්ත සැළැස්මක් කරක සභාව වෙත ඉදිරිපත්කර තිබිණි. කෙසේ වෙතත් ආයතනය ලාභ ලැබීම සඳහා සකස් කර තිබෙන යෝජනා අදාළ ව්‍යාපාර සැළැස්මේ අන්තර්ගත නොවීම පිළිබඳව කාරක සභාව විසින් නිලධාරීන්ගේ ප්‍රශ්න කරන ලදී. ඒ අනුව තමන්ගේ ආයතනයේ අවශ්‍යතාවය නොදැන වෙනත් පාර්ශ්ව මගින් සංයුක්ත සැළැස්ම නිර්මාණය කරගැනීම ගැන සිය කණගාටුව පලකළ සභාපතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ආයතනයේ ඉදිරි වැඩපිළිවෙල ඇතුළත් කර මාස 02ක් තුළ සංයුක්ත සැළැස්මක් සකස් කිරීමට උපදෙස් ලබාදුන්නේය.
තවද වැවිලි සංස්ථාව සතුව පවතින වාහන පිළිබඳව නිසි දත්ත පද්ධතියක් නොපැවතීම පිළිබඳව ද කාරක සභාවේ අප්‍රසාදය පළවූ අතර ඒ පිළිබඳවද සවිස්තරාත්මක වාර්තාවක් වහාම කාරක සභාවට යොමු කරන ලෙසද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
මේ අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර , ශාන්ත බණ්ඩාර, ඉන්දික අනුරුද්ධ ,පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන දයාසිරි ජයසේකර, සංජීව එදිරිමාන්න, හේෂා විතානගේ, (මහාචාර්ය) රංජිත් බණ්ඩාර, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්, (මේජර්) සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ යන මහත්වරුන්, විගණකාධිපති ඩබ්ලිව්.පී.සී.වික්‍රමරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු පිරිසක් සහභාගී වී සිටියහ.