මෙවර යල කන්නයේ දී දිස්ත්‍රික්ක 15ක වී වගාවේ පළිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් සිදු කිරීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය විසින් පියවර ගෙන තිබේ.
ඒ අනුව හම්බන්තොට, මොණරාගල, අම්පාර, මඩකලපුව, පොලොන්නරුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මන්නාරම, වවුනියාව, කිළිනොච්චිය, නුරවඑළිය, මාතලේ, ත්‍රිකුණාමලය හා ගම්පහ යන දිස්ත්‍රික්කවල වී වගාව සඳහා මෙවර යල කන්නයේ දී ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් පළිබෝධනාශක ඉසීමට සැළසුම් කර තිබේ.
මේ වනවිට මෙම සෑම දිස්ත්‍රික්කයකම ගොවි ජන සේවා මධ්‍යස්ථාන සඳහා ඩ්‍රෝන යානා එකක් බැගින් ලබා දීමට කෘෂි ආංශික තාක්ෂණික සභාව විසින් කටයුතු යොදා ඇතැයි එම සභාවේ සභාපති කාවින්ද දිසානායක මහතා පැවසීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ වී වගා කර ඇති ගොවිබිම්වලට පළිබෝධනාශක ඩ්‍රෝන යොදා ගනිමින් සිදු කිරීම ඊයේ (19) අලුත්වැව ප්‍රදේශයේ දී සිදු කෙරිණි.
කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම කටයුතු නිරීක්ෂණය කිරීම සදහා සහභාගි විය.
ගොවි ජනතාවට වී වගාව සඳහා වැය වන වියදම් ලැයිස්තුව දෙස බලන විට වැඩිම මුදලක් කුලී ගෙවීම සඳහා වැය වන බව පෙනී යයි. ඉන් වැඩි මුදලක් කිහිප වරක් පළිබෝධ නාශක ඉසීම සඳහා වැය වේ. එක්වරක් පළිබෝධ නාශක ඉසීම සඳහා මිනිස් ශ්‍රමය සඳහා වැය කිරීමට සිදුවන මුදල හෙක්ටෙයාර් එකකට රුපියල් 7500ක් පමණ වේයැයි ගණන් බලා ඇත.
නමුත් ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම මගින් වැය වන්නේ රුපියල් 2500ක් වැනි මුදලකි. එමෙන්ම අක්කරයකට පලිබෝධ නාශක ඉසීම සඳහා ගත වන වේලාව පැයක් පමණ කාලයකි.
කාර්යක්ෂමතාවය, වියදම් අවම කර ගැනීමට හැකිවීම මෙන්ම ගොවියාට පළිබෝධ නාශක ආඝ්‍රාණය නොවීම නිසා සෞඛ්‍ය ආරක්ෂාව ලැබීම වැනි වාසි රැසක් මෙමගින් ලැබේ.
මෙම අවස්ථාවට සහභාගි වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදහස් පළ කළේය.
මෙවර යල කන්නයේ දී අපි වී වගාවට පලිබෝධ නාශක ඉසීම ඩ්‍රෝන මගින් දිස්ත්‍රික්ක 15ක ක්‍රියාත්මක කරනවා. ඒ වගේම දිස්ත්‍රික්ක 25ටම මෙම වැඩ පිළිවෙළ අපි ලබන මහ කන්නයේ දී හඳුන්වා දෙනවා. මෙම ක්‍රමය ගොවි ජනතාවට ඉතාමත් වාසිදායකයි. ඒ සඳහා අවශ්‍ය ඩ්‍රෝන අපි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට ලබා දෙනවා.
ඒ වගේම ඩ්‍රෝන තාක්ෂණය හොඳින් පුහුණුව ලද ඩ්‍රෝන නියමුවන් මගින් මෙම කටයුතු සිදුකරනවා.
වී වගාවට මෙන්ම අනෙකුත් වගාවන් සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම රජයේ අරමුණයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගොවීන් හෙක්ටයාර් එකකට වී කිලෝ ග්‍රෑම් 12,000ක් බැගින් අස්වනු ලබා ගැනීමට හැකි වී තිබෙනවා. එය වාර්තාගත අස්වැන්නක්. නමුත් අපේ රටේම සමහර ප්‍රදේශවල ගොවීන්ට හෙක්ටයාර් එකකට වී කිලෝ ග්‍රෑම් 1000ක්වත් ගන්න බැහැ.
2023වර්ෂයේ දී සංචාරක කර්මාන්තයට අවශ්‍ය බාස්මතී සහල් හැර වෙන කිසිම අයුරකින් සහල් ආනයනය කළේ නැහැ. මුළු වසර පුරාම අපේ රටේ මිනිස්සු අනුභව කලේ අපේ ගොවිජනතාව නිෂ්පාදනය කළ සහල්. 2024 වර්ෂයේ දීත් සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේම මෙම වර්ෂය අවසන් වනවිට අපේ රට සහලින් ස්වයංපෝෂිත මට්ටමට ළඟාවීමට හැකිවෙන බව විශ්වාස යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.