දේශපාලන සූදුව නිසා ජන සමාජය සහ සංස්කෘතිය කඩා වැටෙනා බවත් කුඩා කාලයේ සිට දරුවන්ට වැරදි ගුණාංග ලබා දෙන ක්‍රමවේදයක් මේ වන විට සමාජයේ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ (26) ත්‍රිකුණාමලය සේරුවිල මොරවැව මහදිවුල්වැව ජාතික පාසලට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 203 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් නර්තන කණ්ඩායමට අවශ්‍ය ඇඳුම් සපයා ගැනීම සඳහා පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.
විවිධ වරදාන වරප්‍රසාද නිසා මත්පැන් බලපත්‍ර ලබා දෙන සූදුවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවත් පාසල්, විහාරස්ථාන ඉදිරිපිට දරු පරපුර ගැන නොසිතා නිර්ලජ්ජිත ආකාරයට මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් වේදිකාවල මතට තිත කියා මත්පැන් ප්‍රවර්ධනය කරනා බවත් ජනාධිපතිකම්, අගමැතිකම්, මැති ඇමතිකම්වලට ඇති කෑදරකම නිසා එවැනි දේවල් සිදු කරනා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ වන විට සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන්ට රු. ලක්ෂ 30ක් ගෙවා ගෙදර යැවීමේ සැලසුමක් ඇති බවත් මේ ගැන වාර්තා වූ විගසම තමා පාර්ලිමේන්තුවේ හඬක් නැගූ බවත් යුද සමයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කළ සිවිල් ආරක්ෂක සේවාව යුද ජයග්රහණයෙන් පසු අතහැර දමා ඇති බවත් මෙවන් යුගයක ත්‍රිවිද හමුදාවත් පොලිසිය සහ සිවිල් ආරක්ෂක ක්ෂේත්රය ආරක්ෂා කිරීමට තමා පෙනී සිටිනා බව හෙතෙම කියා සිටියේය.
සුපිරිසිදුම කණ්ඩායම යැයි කියා ගන්නා විකල්ප යැයි පිරිස් පසුගිය වසර ගණනාව පුරා ආණ්ඩු සකස් කිරීමට මුක්කු ගැසූ බවත් ඔවුන් රට බංකොලොත් කළා යැයි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පවා ඔප්පු වූ රාජපක්ෂලා බලයට ගේන්න පවා රැස්වීම් තියමින්, ගෙන් ගෙට යමින් මැතිවරණ ප්‍රචාරණය පවා සිදු කළ බවත් එසේ සිදු කළ මේ අය සුපිරිසිදු විකල්පය යැයි කියමින් සක්වල හා හුස්ම වැඩසටහන් නිර්දය ලෙස විවේචනය කරනා බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.