හලාවත පොලිස් වසමේ පුලියම්කඩවල ප්රදේශයේ පොල් අක්කර 50ක ඉඩමක අනවසරයෙන් පොල් ගස් කපා දැමීමක් පිළිබඳව පසුගිය 28 වන දා එම පොලිසියට පැමිණිල්ලක් ලැබූ බව හලාවත පොලිස් ස්ථානාධිපති රුක්ලන්ද පෙරේරා මහතා ‘මව්බිම’ට පැවසීය.
සමාගමකට අයත් පොල් ඉඩමක විශාල පොල් ගස් 200ක් පමණ, කුඩා ප්රමාණයේ ගස් සහ කනාටු ගස් සමග පොල් ගස් 400ක් පමණ කපා දමා ඇති බවට පැමිණිල්ලක් ලැබුණු බව ස්ථානාධිපතිවරයා පැවසීය.
සමාගම් කළමනාකාරවරයා කැඳවා ප්රකාශයක් ලබා ගෙන තිබෙන බව ත් ඔහුගේ ප්රකාශයට අනුව කනාටු පොල් ගස් ඉවත් කර නැවත පොල් වගා කිරීමක් සිදු කරන බව ත් දන්වා ඇතැයි ස්ථානාධිපතිවරයා කීවේ ය.
1951 අංක 09 දරන ගස් හෙළීමේ පනතේ නව සංශෝධනය අනුව පොල් ගස් කැපීම තහනම් කර ඇති අතර ඒ සඳහා ප්රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ලබා ගත යුතු බව හෙතෙම පැවසීය.
ඒ අනුව, හිමිකාරීත්වයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව රුක්ලන්ද පෙරේරා මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.