මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය පෙරේදා (26) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට කටයුතු කර තිබෙන අතර අලුතින් හඳුන්වාදුන් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (OPR) සියයට 8ක් ලෙස තීරණය කර ඇත.
මෙම වෙනසත් සමඟ ප්‍රතිපත්ති පොලී අනුපාතිකයෙහි අඩු වීම බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකයෙහි දැනට පවතින මට්ටම හා සාපේක්ෂව පදනම් අංක 50ක් පමණ වන අතර බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය, නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ මෙහෙයුම් ඉලක්කය ලෙස තවදුරටත් පවතින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබෙන අතර මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලි උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක් බව ද එම බැංකුව පෙන්වා දෙයි.
ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙන අතර මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාව පරිදි සංශෝධනය කරනු ලබන බව ද කියයි.
මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළෙඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම් දීම මෙන්ම සම්ප්‍රේෂණය වීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ වීම අපේක්ෂා කරන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.