දේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි තිරිඟු පිටි මිල සහ මාගරින් සඳහා පනවා ඇති බදු රජය මැදිහත් වී අඩු කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 10කින් සහ සෙසු බේකරි නිෂ්පාදන රුපියල් 10ත් 05ත් අතර මිලකින් අඩු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
මේ වන විට බේකරි කර්මාන්තකරුවන් සඳහා දේශීය පිටි සමාගම් දෙක විසින් පිටි කිලෝවක් ලබා දෙනු ලබන්නේ රුපියල් 180ත් 190ත් අතර මිලකට බව පවසන ජයවර්ධන මහතා, එම මිල රුපියල් 25කින් අඩු කරන්නේ නම් සහ ඉකුත් රජය විසින් පනවන ලද මාගරින් සඳහා රුපියල් 200 සිට 600 දක්වා ඉහළ දමන ලද බදු මුදල අඩු කරන්නේ නම් අනිවාර්යෙන්ම පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල අඩු කරන බවද සභාපතිවරයා පැවසීය.
ආනයනික තිරිඟු පිටි කිලෝවක් මේ වන විට කොළඹ තොග වෙළඳ පොළේ මිලදී ගැනීමේදී කිලෝවක් රුපියල් 150ත් 160ත් අතර මිලක් වන බව ජයවර්ධන මහතා පවසයි. නමුත් රට පුරා සිටින බේකරිකරුවන් හට කොළඹට පැමිණ පිටි මිලදී ගැනීමට නොහැකි බවත්, බදු ගෙවා ආනයනය කරන තිරිඟු පිටි කිලෝවක් මෙසේ අඩු මිලට අලෙවි කිරීමට වෙළඳුන් හට හැකිනම් දේශීය තිරිඟු පිටි සමාගම් දෙකෙහි පිටි මිල අඩු කිරීම කිසිදු ගැටලුවකින් තොරව සිදු කළ හැකි බැවින් ඒ සඳහා රජය මැදිහත්ව පියවර ගත යුතු බවද ඔහු කියා සිටියි.
එසේම මාගරින් සඳහා පැවති රුපියල් 200ක ආනයනික බද්ධ ඉකුත් රජය විසින් රුපියල් 600 දක්වා වැඩි කිරීමෙන් මාගරින් මිලද බේකරි කර්මාන්තයට දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති බැවින් මාගරින් සඳහා පනවා ඇති බදු මුදලද අඩු කිරීමට රජය පියවර ගන්නේ නම් පාන් ඇතුළු අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල පාරිභෝගික ජනතාවට දැනෙන අයුරින් අඩු කිරීමට තම සංගමය සූදානම් බව ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.