පසුගිය වසරේ (2024) නිල නොවන දත්ත අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 18 අඩු දරුවන් 200 කට ආසන්න ප්‍රමාණයක් සිය දිවි නසාගෙන ඇතැයි ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න කියයි.
මේ සිය දිවි නසා ගැනීම්වලට සමාජ මාධ්‍ය භාවිතය හේතුවක් විය හැකි බව ද විශේෂඥ වෛද්‍යවරයා පවසයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ඊයේ [30 වැනිදා] පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙලස පැවැසුවේය. වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ නිසා සමහර රටවල සිදු කළ ආකාරයට වයස අවුරුදු 18 ට අඩු අයට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීමට හෝ සීමා කිරීමට ශ්‍රී ලංකාව තුළ නීති ගෙන ඒමට ප්‍රතිපත්ති සම්පාදකයන් දැනුවත් කරන බවය. එමෙන්ම මෙම මාධ්‍ය හමුවේදී හෙළි වූයේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් වසරකට තුන්ලක්ෂ දහතුන්දහසක් ගර්භණී භාවයට පත්වෙන බවය. ඒ අතරින් සාමාන්‍යයෙන් දෙලක්ෂ පනස් දහසක් පමණ දරුවන් උපදින නමුත් ඔවුන් සියලු දෙනාම නීරෝගී නොවන බවත් සරු ජනිතයන් ( 15-49) බිහි කිරීමේ වයස් කාණ්ඩය අඩු වෙමින් පවතින බවත් මෙහිදී අනාවරණය විය. ශ්‍රී ලංකාවේ ආයු අපේක්ෂාව පිරිමි වයස අවුරුදු 73 ගැහැණු වයස 80 දක්වා මේ වන විට වැඩිවී තිබෙන බවත් රටක් වශයෙන් අප කළ යුත්තේ ලෙඩ වූ පසු ප්‍රතිකාර කිරීම නොව ලෙඩ නොවී සිටීමට දිරිගැන්වීම බවත් වෛද්‍ය කපිල ජයරත්න මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේය.
ලංකාවේ වසරකට අවුරුදු පහට අඩු දරුවන් තුන්දහස් තුන්සීයක් (3300) මිය යන බවත් දරුවන් 30% ක් පමණ ස්ථුලතාවයෙන් පෙළෙන බවත් විශේෂඥ වෛද්‍ය කපිල ජයරත්න පැවැසුවේය.