කීරි සම්බා සහල් තමන් සන්තකයෙහි තිබියදීත් එය නොමැති බව ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ වෙළෙඳසැල් හිමිකරුවෙකුට දඩ මුදල් සහ රුපියල් මිලියන 3.8 කට වැඩි වටිනාකමක් සහිත කීරි සම්බා සහල් තොගයක් රාජසන්තක කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පසුගිය මාසයේ කොළඹ 12 ප්‍ර දේශයේ පැවති වෙළෙඳසැලක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකදී මෙම සහල් තොගය හමු වී ඇත.
පසුව ඒ සම්බන්ධයෙන් එම වෙළෙඳසැලෙහි හිමිකරුට සහ කළමනාකරුට එරෙහිව පසුගිය මස 11 වනදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයහි නඩු පවරා තිබේ.
ඒ අනුව, අදාළ නඩුවේදී ඉහත පුද්ගලයන් විසින් පෙබරවාරි මස 11 දින වරද පිළිගැනීමෙන් පසුව අධිකරණය විසින් එක් පුද්ගලයෙකුට රුපියල් 10,000.00 බැගින් රුපියල් 20,000.00 ක දඩ මුදලක් නියම කරන ලදී.
එහිදී එම වෙළෙඳසැලේ සඟවා තබා තිබියදී සොයාගත් කීරි සම්බා සහල් කිලෝ 5 ඇසුරුම් 3,000ක් ද නිලධාරීන් විසින් අධිකරණය වෙත ඉදිරිපත්කර තිබු අතර ඊයේ (18) අධිකරණය විසින් රුපියල් මිලියන 3.8 කට වැඩි වෙළෙඳපොළ වටිනාකමක් සහිත එම සහල් තොගය රාජසන්තක කර ඇත.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතට අනුව භාණ්ඩ තම සන්තකයේ තබාගෙන නොමැතිබව ප්‍රකාශ කළ අවස්ථාවක අදාළ වෙළෙන්ඳා වැරදිකරු වූවහොත් ඊට අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට අධිකරණයට හැකියාවක් පවතී.
වෙළෙඳපොලේ සහල් වැඩි මිලට අලෙවිකිරීම සහ සඟවා තබාගැනීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සිදුකරනු ලබන වැටලීම් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන අතර එහිදී සම්බා සහ කීරි සම්බා සහල් සම්බන්ධව වැඩි අවධානයක් යොමුකරමින් වැටලීම් සිදුකරන ලෙසත් නීතිය තදින්ම ක්‍රියාත්මක කරන ලෙසත් නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බව සඳහන් වේ.