මහජනතාව සදහා ගුණාත්මක හා ප්‍රමාණවත් ආහාරවේලක් සාධාරණ මිලට ලබාගැනීමේ අවස්ථාවක් උදා කර දීමට රජය සැලසුම් කර තිබේ.
මේ අනුව දිවයින පුරා නව ආපනශාලා ස්ථාපිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබෙන අතර එහි පළමු ආදර්ශ ආපන ශාලාව අප්‍රේල් 01 වනදා නාරාහේන්පිටදී විවෘත කිරීමට නියමිතය.
ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශය එක්වී දැනට ආපනශාලා පවත්වාගෙන යන ව්‍යාපාරිකයන්ගේද මේ සදහා සහාය ලැබි තිබේ.
මේ පිළිබඳ මූලික සාකච්ඡාවක් ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් (27) දා ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
ජනතාවට සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු කිරීම පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු අතර පාරිභෝගික ජනතාවට නිසි සෞඛ්‍ය ප්‍රමිතීන්ට අනුකූල ආහාර ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම, පාරිභෝගික විශ්වාසය වර්ධනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග මෙන්ම ඒ සඳහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල දායකත්වය ලබා ගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.