ලොව සුප්‍රකටම K-pop සංගීත කණ්ඩායම වන BTS, වසර හතරක පමණ දීර්ඝ විරාමයකින් පසුව යළිත් ලෝක සංගීත කරළියට පිවිසෙන බව නිල වශයෙන් නිවේදනය කර තිබේ. 2022 වසරේදී සිය සාර්ථකත්වයේ ඉහළම තලයේ සිටියදී අනිවාර්ය හමුදා සේවය සඳහා සංගීත කටයුතුවලින් තාවකාලිකව සමුගත් මෙම කණ්ඩායම, සියලු සාමාජිකයින් හමුදා සේවය නිමා කිරීමෙන් පසුව මෙලෙස යළි එක්ව සිටියි.
සෝල් නුවර වේලාවෙන් අද (14) මධ්‍යම රාත්‍රියේ නිකුත් කරන ලද නිවේදනයකට අනුව, BTS කණ්ඩායමේ නවතම සංගීත ඇල්බමය එළඹෙන මාර්තු මාසයේදී නිකුත් වීමට නියමිතය. එය ඔවුන් වසර හතරකට පසු නිකුත් කරන පළමු ඇල්බමය වීම විශේෂත්වයකි. ඊට සමගාමීව අප්‍රේල් මාසයේ සිට දකුණු කොරියාවේ ගෝයැන්ග් සහ ජපානයේ ටෝකියෝ නුවරින් ආරම්භ වන ඔවුන්ගේ දැවැන්තම ලෝක සංචාරය කලාප 34ක් පුරා විසිරී පවතිනු ඇත. මෙම සංචාරය ආසියාව, උතුරු හා දකුණු ඇමරිකාව, යුරෝපය සහ ඕස්ට්‍රේලියාව ආවරණය කරමින් 2027 මාර්තු මාසය දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබේ.
BTS කණ්ඩායමේ මෙම නැවත පැමිණීම ‘ARMY’ ලෙස හැඳින්වෙන ඔවුන්ගේ ජාත්‍යන්තර රසික ප්‍රජාව අතර දැඩි උද්යෝගයක් නිර්මාණය කර ඇත. ඇතැම් රසිකයින් පවසන්නේ මෙය “ඔලිම්පස් කන්දෙන් දෙවියන් බැස එන්නාක් වැනි” සුවිශේෂී අවස්ථාවක් බවයි. ලෝක සංචාරයේ ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම සඳහා දැනටමත් රසිකයන් අතර විශාල තරඟයක් නිර්මාණය වී ඇති අතර, ඇතැම් රසිකයින් ප්‍රසංග නැරඹීම සඳහා විදේශගත වීමට පවා සූදානමින් සිටින බව වාර්තා වේ.
BTS කණ්ඩායම යළි කරළියට පිවිසෙන්නේ K-pop ක්ෂේත්‍රය ගෝලීය වශයෙන් වඩාත් ප්‍රචලිත වී ඇති වටපිටාවකය. පසුගිය වසර කිහිපය තුළ දකුණු කොරියානු සංස්කෘතික නිපැයුම් ලොව පුරා ප්‍රධාන ධාරාවට එක් වී ඇති අතර, BTS කණ්ඩායම එම ක්ෂේත්‍රයේ “එන්ජිම” ලෙස තවදුරටත් පිළිගැනේ. සංගීත ක්ෂේත්‍රයේ විශේෂඥයන් පෙන්වා දෙන්නේ වයසින් මුහුකුරා ගිය පරිණත කලාකරුවන් ලෙස BTS සාමාජිකයින්ගේ මෙම දෙවන ගමන පෙරට වඩා ප්‍රබල හා අර්ථවත් වනු ඇති බවයි.















