සුපිරි බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් සහ ටිල්වින් සිල්වා අතර හමුවක්
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන ප්‍රකට පද්ම ශ්‍රී සම්මානලාභී ඉන්දීය ගායිකා අනුරාධා පෞද්වාල් මහත්මිය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා හමු විය. මෙම සුහද හමුව ඊයේ (21) බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු අතර එම අවස්ථාවට මධ්‍යම කාරක සභික, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්ව සිටියේය.
මෙහිදී ජනවාරි 23 වැනි දින නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වීමට නියමිත “Anuradha Paudwal Live in Sri Lanka – Timeless Bollywood Melodies” සංගීත ප්‍රසංගය සඳහා සහභාගී වන ලෙස ඇය විසින් ප්‍රධාන ලේකම්වරයාට සහ අමාත්‍යවරයාට නිල වශයෙන් ආරාධනා කරනු ලැබීය.
මෙම හමුවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් මහත්මිය සහ විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය අංකුරන් දත්ත මහතා ඇතුළු නියෝජිත පිරිසක් සහභාගී වූහ.
සාකච්ඡාව අතරතුරදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රසංගයේ කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක් කළ අතර, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සංස්කෘතික මිත්‍රත්වය සහ කලාත්මක හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. මෙම හමුව දෙරට අතර පවතින සංස්කෘතික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














