අමෙරිකා එක්සත් ජනපදය බලා සංචාරය කරන ශ්‍රී ලාංකිකයන් සඳහා එරට වීසා නීතිරීති සම්බන්ධයෙන් කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය මගින් ප්‍රධාන වශයෙන් අවධාරණය කර ඇත්තේ B1 සහ B2 (Visitor Visa) කාණ්ඩ යටතේ අමෙරිකාවට ඇතුළු වන පුද්ගලයන් එහිදී රැකියාවල නිරත වීම සපුරා තහනම් බවයි.
තානාපති කාර්යාලය පෙන්වා දෙන්නේ සංචාරක වීසා මගින් ව්‍යාපාරික සාකච්ඡා පැවැත්වීම, ගිවිසුම්ගත වීම්, වෘත්තීය සමුළුවලට සහභාගී වීම හෝ විනෝද චාරිකා වැනි කටයුතු සඳහා පමණක් අවසර ලැබෙන බවයි. එහෙත් එම වීසා බලපත්‍රය යටතේ අමෙරිකාව තුළ කිසිදු ආකාරයක වැටුප් සහිත හෝ රහිත රැකියාවක නිරත වීමට නීත්‍යානුකූල අවසරයක් හිමි නොවේ.
යම් හෙයකින් මෙම වීසා නීති උල්ලංඝනය කරමින් අනවසරයෙන් රැකියාවල නිරත වන පුද්ගලයන් හසු වුවහොත්, ඔවුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එරටින් පිටුවහල් කිරීමට කටයුතු කරන බව තානාපති කාර්යාලය අනතුරු අඟවයි. එමෙන්ම එවැනි පුද්ගලයන්ට නැවත කිසිදු දිනක අමෙරිකාවට ඇතුළු වීමට නොහැකි වන පරිදි ස්ථිර වීසා තහනමකට (Permanent Ban) ලක්වීමට ද ඉඩ ඇත. එබැවින් අමෙරිකාවට ඇතුළු වීමට පෙර තමන් ලබාගෙන ඇති වීසා වර්ගයට අදාළ සීමාවන් පිළිබඳව මනාව දැනුවත් වන ලෙස තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියි.














