සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක තම නිවසට කැදවාගෙන ගොස් අපයෝජනය කළ බව කියන 22 හැවිරිදි තරුණයෙකු උඩප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මුන්දලම, පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා සහ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි දැරිය අතර සබඳතාව ගොඩනැඟී ඇත්තේ ෆේස්බුක් (Facebook) හරහාය. විදේශගතව සිටින මව විසින් දැරිය වෙත එවන ලද නවීන ජංගම දුරකථනයක් හරහා මොවුන් දෙදෙනා හඳුනාගෙන ඇති අතර, එහිදී දැරිය තමන්ගේ වයස අවුරුදු 17ක් ලෙස සැකකරුට පවසා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
පසුගිය වසරේ අගෝස්තු මාසයේදී නිවසින් පැන ආ දැරිය සැකකරුගේ නිවසේ රැඳී සිට ඇති අතර, අතුරුදහන් වූ දැරිය සොයා ඇගේ පියා විසින් සිදුකළ මෙහෙයුමකදී ඇය පල්ලිවාසල්පාඩුව ප්‍රදේශයේ සිටියදී සොයාගෙන තිබේ. පසුව පොලීසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් අතර, වෛද්‍ය පරීක්ෂණයක් සඳහා දැරිය හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත. සැකකරු පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උඩප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.












