භාණ්ඩවල මිල ප්රදර්ශනය නොකිරීම ඇතුළු පාරිභෝගික ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය දිවයින පුරා විශේෂ වැටලීම් මාලාවක් සිදුකර තිබේ.
ඔක්තෝබර් 20 වැනිදා සිට 24 වැනිදා දක්වා දිස්ත්රික්ක රැසක් ආවරණය කරමින් සිදුකළ මෙම වැටලීම්වලදී නීති උල්ලංඝනය කිරීම් 200කට ආසන්න සංඛ්යාවක් වාර්තා වී ඇති බව අධිකාරිය සඳහන් කළ බව වාර්තා වේ.
සහල්, සීනි, පරිප්පු, එළවළු, පලතුරු, තිරිඟු පිටි, බේකරි නිෂ්පාදන, කෙටි ආහාර, රෙදිපිළි, විදුලි උපකරණ සහ ජංගම දුරකථන උපාංග අලෙවි කරන වෙළෙඳ ආයතන මෙහිදී පරීක්ෂාවට ලක්කර තිබේ.
ගාල්ල, මාතර, හම්බන්තොට, යාපනය, අම්පාර, මඩකලපුව, අනුරාධපුර, කුරුණෑගල, පුත්තලම, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, මොනරාගල, ත්රිකුණාමලය, මන්නාරම, මුලතිව් සහ වවුනියාව ඇතුළු දිස්ත්රික්ක රැසක මෙම වැටලීම් ක්රියාත්මක කර ඇත.
පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගැනීමට පෙර මිල පැහැදිලිව දැනගැනීමට අවස්ථාව සැලසීම, වෙළෙඳපොළේ මිල විනිවිදභාවය තහවුරු කිරීම සහ අසාධාරණ වෙළෙඳ ක්රියාකාරකම් වැළැක්වීම මෙහි අරමුණ බව සඳහන් වේ.
නීති උල්ලංඝනය කළ වෙළෙඳ ආයතනවලට එරෙහිව නීතිමය ක්රියාමාර්ග ගෙන ඇති අතර, ඇතැම් සිද්ධි සම්බන්ධයෙන් මහේස්ත්රාත් අධිකරණවල නඩු පැවරීමට දින නියම කර තිබේ.
තිරිඟු පිටි අලෙවිය, වෙළෙඳපොළේ තොග තත්ත්වය සහ අදාළ මිල ප්රදර්ශන නීති පිළිපැදීම සම්බන්ධයෙන් ද විශේෂ විමර්ශන ක්රියාත්මක කර ඇති බව වාර්තාවේ සඳහන් වේ.












