පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය ආසන්නයේ අද (02) දහවල් එල්ල වූ බඹර ප්‍රහාරයකින් සිසු සිසුවියන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු අට දෙනෙකු තුවාල ලබා තිබේ. තුවාල ලැබූවන් වහාම පේරාදෙණිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඔවුන් අතර විශ්වවිද්‍යාල සේවකයින් දෙදෙනෙකු ද වන බව පොලීසිය තහවුරු කරයි. ශාස්ත්‍ර පීඨය අසල පිහිටි කිරිහල ඉදිරිපිටදී මෙම අනපේක්ෂිත ප්‍රහාරය එල්ල වී ඇති අතර, සිද්ධිය වූ ස්ථානය අවට බඹර කූඩු දක්නට නොතිබීම විශේෂත්වයකි.
විශ්වවිද්‍යාල බලධාරීන් පවසන්නේ අක්බාර් පාලම අසල බඹර කූඩු කිහිපයක් පවතින අතර, ඉදිරි සතියේ පැවැත්වීමට නියමිත උපාධි ප්‍රදානෝත්සවයට පෙර ඒවා ඉවත් කිරීමට කටයුතු යොදා තිබූ බවයි. කිසියම් බාහිර හේතුවක් මත ඇවිස්සුණු බඹරුන් මෙලෙස පිරිසකට පහර දී ඇති බවට සැක කෙරෙන අතර, පේරාදෙණිය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි. විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ගමන් ගන්නා පිරිස් මේ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ද දැනුම් දී ඇත.













