මහනුවර, අම්පිටිය ප්‍රදේශයේදී කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 29 හැවිරිදි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මහනුවර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ‘ඉසුරු ලක්මාල් ෆ්‍රැන්සිස්’ නැමැති මෙම සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 100ක් පොලිස් භාරයට ගෙන ඇත. අම්පිටිය පට්ටියකැලේ වත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු ‘CONNECT’ නමින් සංවිධානය කරන ලද ෆේස්බුක් සාද සහ විවිධ සංගීත ප්‍රසංග මුවාවෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ අයෙකු බවයි. ඔහුටම අයත් සංගීත කණ්ඩායමක් යොදා ගනිමින් මෙම සාද සංවිධානය කර ඇති අතර, එමගින් උපයාගත් මුදලින් ඔහු ඉතා සුඛෝපභෝගී ජීවිතයක් ගත කර ඇති බව ද වාර්තා වේ. අත්අඩංගුවට ගත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම ජාලයට සම්බන්ධ සෙසු පුද්ගලයින් සොයා මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














