කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවැත්වෙන සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රදර්ශනය වෙනුවෙන් බැතිමතුන්ගේ පහසුව තකා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස් රථ සේවාවක් ලංගම සහ පුද්ගලික බස් රථ යොදාගනිමින් දියත් කිරීමට කටයුතු යොදා තිබේ. ලබන 05 වැනිදා පෙරවරු 6:00 සිට 11 වැනිදා උදෑසන 7:00 දක්වා ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමිවන අතර, ඒ සඳහා පැමිණෙන ජනතාවට පැරණි එම්.ඕ.ඩී. භූමියේ (M.O.D. Park) සහ ලේක් හවුස් වටරවුම අසල රථගාල්වල සිට ගංගාරාමය දක්වා මෙම විශේෂ ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක වේ. කොටුව දුම්රිය ස්ථානයේ සිට පැමිණෙන බැතිමතුන්ට ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ පා ගමනින් ලේක් හවුස් වටරවුම අසල රථගාල වෙත පැමිණ එතැන් සිට මෙම බස් රථ සේවාව භාවිත කළ හැකි බව සංවිධායක මණ්ඩලය දැනුම් දෙයි.














