පාර්ලිමේන්තු ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමක් වාර්තා කරමින්, වත්මන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව දූෂණ සහ වංචා චෝදනා ඇතුළත් දීර්ඝ පැමිණිල්ලක් පාර්ලිමේන්තුවේ වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබේ. 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ සිදුකර ඇති මෙම පැමිණිල්ල මගින් කථානායකවරයා විසින් රජයේ දේපළ හා මූල්‍ය සම්පත් අවභාවිත කර ඇති ආකාරය සවිස්තරාත්මකව පෙන්වා දී ඇත. විශේෂයෙන්ම කථානායකවරයාට හිමි නිල වාහන ප්‍රමාණය ඉක්මවා අතිරේක වෑන් රථයක් පෞද්ගලික පරිහරණයට යොදා ගැනීම, නියමිත ඉන්ධන කෝටාව ඉක්මවා ලබා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 20ක පමණ පාඩුවක් සිදු කිරීම සහ රජයේ නිල නිවාස දෙකක් පරිහරණය කිරීම යන කරුණු මෙහි ප්‍රමුඛ චෝදනා ලෙස දක්වා තිබේ.
මීට අමතරව, කථානායකවරයාගේ පෞද්ගලික ලේකම්වරයා නියමිත ගාස්තු නොගෙවා පාර්ලිමේන්තුවෙන් දිවා ආහාර ලබා ගැනීම හරහා රජයේ මුදල් අවභාවිත කිරීම, පාර්ලිමේන්තු මාධ්‍ය අංශයේ උපකරණ පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම සහ තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ ඉදිරිපත් වූ ඉල්ලීම්වලට බාධා කිරීම යන කරුණු ද පැමිණිල්ලේ අන්තර්ගත වේ. තමාට එරෙහිව පවත්වන විනය පරීක්ෂණ ද්වේශ සහගත සහ අනීතික ඒවා බව පෙන්වා දෙන චමින්ද කුලරත්න මහතා, 2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත යටතේ ‘තොරතුරු හෙළි කරන්නෙකු’ (Whistleblower) ලෙස තමන්ට ආරක්ෂාව ලබා දෙන ලෙස ද ඉල්ලා ඇත. මෙම පැමිණිල්ලේ පිටපත් නීතිපති, ජනාධිපති ලේකම් සහ තොරතුරු කොමිසම වෙත ද යොමු කර ඇති අතර, මෙය පාර්ලිමේන්තු පරිපාලනය තුළ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබේ.














