ජපාන රජයේ ඇමරිකානු ඩොලර් මිලියන 8.4ක ආධාර මත කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ ස්ථාපනය කළ නව ස්වයංක්‍රීය දොරටු (e-gates) පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂ හේතුවෙන් මගීන් දැඩි ප්‍රමාදයකට සහ අපහසුතාවකට පත්ව ඇති බව වාර්තා වේ. ගුවන් ගමන් බලපත්‍ර කාර්යක්ෂමව ස්කෑන් කිරීමට මෙම පද්ධතිය අපොහොසත් වීම නිසා බොහෝ මගීන්ට නැවතත් සාමාන්‍ය කවුන්ටර වෙත යාමට සිදුව ඇති අතර, මීට හේතුවී ඇත්තේ ගුවන් සමාගම් විසින් මගීන්ගේ තොරතුරු නිසි වේලාවට ‘API’ පද්ධතිය වෙත ලබා නොදීම බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. පසුගිය ජනවාරි 28 වැනිදා ආරම්භ කළ මෙම නවීන පද්ධතිය මගින් මේ දක්වා විදේශ ගමන් බලපත්‍ර 20,000ක් පමණ පරීක්ෂා කර ඇති බවත්, මතු වූ දෝෂ හඳුනාගෙන ඒවා නිවැරදි කිරීමට පියවර ගනිමින් සිටින බවත් ආගමන විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජූඩ් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය














