දකුණු කොරියාවේ ජින්ඩෝ ප්‍රාන්තයේ (Jindo County) ආණ්ඩුකාර කිම් හී-සූ (Kim Hee-soo) විසින් එරට පවතින ජනගහන අවපාතයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව හෝ වියට්නාමය වැනි රටවලින් තරුණියන් “ආනයනය” කළ යුතු බවට කළ ප්‍රකාශයක් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට ලක්ව තිබේ. දකුණු ජොල්ලා ප්‍රාන්තයේ පැවති ප්‍රාදේශීය පාලන ඒකක ඒකාබද්ධ කිරීම පිළිබඳ මහජන හමුවකදී ආණ්ඩුකාරවරයා මෙම අදහස් පළ කර ඇත්තේ ග්‍රාමීය ප්‍රදේශවල අවිවාහක තරුණයින්ට විවාහ වීම සඳහා විදේශීය කාන්තාවන් ගෙන්වා ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කරමිනි. කර්මාන්ත දියුණු කළ ද ඒවායේ වැඩ කිරීමට මිනිසුන් නොමැති නම් ඉන් පලක් නොවන බව පවසමින් ඔහු මෙම මතභේදාත්මක යෝජනාව ඉදිරිපත් කර ඇත.
ආණ්ඩුකාරවරයාගේ මෙම ප්‍රකාශය යූ ටියුබ් (YouTube) ඔස්සේ සජීවීව විකාශය වූ අතර, එහිදී ඔහු විදේශිකයන් භාණ්ඩ ලෙස සලකා “ආනයනය” යන වචනය භාවිතා කිරීම සහ නිශ්චිත රටවල් කිහිපයක් පමණක් නම් කිරීම පිළිබඳව සමාජ මාධ්‍ය සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් සිය විරෝධය පළ කර තිබේ. මෙම හමුවට සහභාගී වූ ක්වන්ජු (Gwangju) නගරාධිපතිවරයා ද මෙම ප්‍රකාශය නුසුදුසු බව වහාම පෙන්වා දී ඇති අතර, බහු සංස්කෘතික ප්‍රජාවන්, මානව හිමිකම් සහ ස්ත්‍රී පුරුෂ සංවේදීතාව පිළිබඳ අවම අවබෝධයකින් තොරව පොදු වේදිකාවක මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම බරපතළ වරදක් බව විචාරකයෝ පවසති. දකුණු කොරියාවේ ග්‍රාමීය ප්‍රදේශවල පවතින ජනගහන ක්ෂය වීමේ අර්බුදය හමුවේ ආණ්ඩුකාරවරයා තුළ පවතින දැඩි පීඩනය මෙවැනි රළු වචන හරහා පිටවන්නට ඇති බවට ද ඇතැම් පිරිස් මත පළ කරති.














