ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් සමරු නිල රාජ්‍ය උත්සවය ජපානයේ ටෝකියෝ නුවර රෙයියුකායි ශාකාඩාන් විහාරයේදී (Reiyukai Shakaden Temple) ඊයේ (04) අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරන ලද මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මියාමොටෝ ෂින්ගෝ මහතා සහ ජපාන මන්ත්‍රී මණ්ඩල සාමාජික මට්සුෂිතා ෂින්පේ මහතා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් රැසක් සහභාගී වූහ.
උත්සවයේ සුවිශේෂීම අවස්ථාව වූයේ 1945 හිරෝෂිමා පරමාණු බෝම්බ ප්‍රහාරයට ලක්ව ඉතිරි වූ ‘හිබකු වයලීනය’ (Hibaku Violin) වාදනය කරමින් සහ පරමාණුක ව්‍යසනයෙන් පසු ඉතිරි වූ කිමෝනාවකින් නිමවූ ඇඳුමකින් සැරසුණු කනොන් යසුසුකා මෙනෙවිය විසින් දෙරටේ ජාතික ගී ගායනා කිරීමයි. ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් දිවි පිදූවන් සහ මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූවන් සිහිපත් කරමින් මිනිත්තුවක නිශ්ශබ්දතාවයක් ද මෙහිදී පවත්වන ලදී. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මෙරට නායකයන්ගේ නිදහස් දින පණිවිඩ ද ඉදිරිපත් කෙරුණු අතර, ශ්‍රී ලාංකේය සූපශාස්ත්‍ර උරුමය විදහා දක්වන සාම්ප්‍රදායික ආහාර පානවලින් සහ සංස්කෘතික සංදර්ශනවලින් උත්සවය වර්ණවත් විය.














