පෙබරවාරි 06 – ශ්‍රී ලංකාවේ ත්‍රාසජනක සංචාරක ක්ෂේත්‍රය (Adventure Tourism) ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් “ස්කයිඩයිවිං” (Skydiving) හෙවත් අහසේ සිට පැරෂුට් ආධාරයෙන් පැනීමේ ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (05) ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්වුණි. ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම හමුවට ‘Skydive Sri Lanka’ ආයතනයේ නියෝජිතයින් පිරිසක් සහභාගී වූහ.
මෙහිදී ‘Skydive Sri Lanka’ නියෝජිතයින් විසින් මෙම ක්‍රීඩාව මෙරට සංචාරක ක්ෂේත්‍රයට දායක කරගත හැකි ආකාරය සහ එහි මෙහෙයුම් කටයුතු පිළිබඳ සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරන ලදී. මෙවැනි ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීමේදී මතුවිය හැකි නීතිමය බාධාවන්, ආරක්ෂක විධිවිධාන සහ මෙහෙයුම් අභියෝග පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ ආරක්ෂක ලේකම්වරයා, සිවිල් ගුවන් සේවා අධිකාරිය සහ සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව මෙහි ශක්‍යතාව පිළිබඳව සොයා බලන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය. සංචාරකයින් සඳහා නව ආකර්ෂණීය අත්දැකීමක් ලෙස මෙය හඳුන්වා දීමෙන් මෙරටට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි වනු ඇතැයි බලධාරීන් අපේක්ෂා කරයි.















