පෙබරවාරි 06 – යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි කච්චතිව් දූපතේ ඓතිහාසික ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ වාර්ෂික දේව මංගල්‍යය මෙවර පෙබරවාරි 27 සහ 28 දෙදින පුරා පැවැත්වීමට යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සියලු කටයුතු සූදානම් කර තිබේ. මෙම උත්සවය සඳහා දිවයිනේ නන් දෙසින් සහ ඉන්දියාවෙන් පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමේ වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් භාරගෙන ඇත.
නාවික හමුදාධිපතිවරයාගේ උපදෙස් පරිදි උතුරු නාවික විධානය මගින් මේ වන විට දූපතේ තාවකාලික ජැටි ඉදිකිරීම, පානීය ජල පද්ධති ස්ථාපනය, සනීපාරක්ෂක පහසුකම් සහ විදුලි බලය සැපයීම ඇතුළු සංවිධාන කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බව නාවික හමුදාව නිවේදනය කරයි. බැතිමතුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතාරක්ෂක කණ්ඩායම් යෙදවීමටත්, හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා තාවකාලික ගිලන්හලක් ඉදිකිරීමටත් පියවර ගෙන ඇත. මීට අමතරව, කන්කසන්තුරය සහ කුරිකඩ්ඩුවාන් සිට කච්චතිව් දූපත දක්වා බැතිමතුන් සහ අත්‍යවශ්‍ය සැපයුම් ආරක්ෂිතව ප්‍රවාහනය කිරීම නාවික හමුදාවේ සෘජු අධීක්ෂණය යටතේ සිදු කෙරෙනු ඇත.














