තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් වූ රුමිර පියසිරි ශිෂ්‍යයා අද (08) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළින් යළි දිවයිනට පැමිණියේය. පෙබරවාරි 01 වැනිදා සිට 06 වැනිදා දක්වා ඉන්දියාවේ කල්කටා නුවර පැවැති මෙම තරගාවලිය සඳහා ලොව පුරා රටවල් 50ක් නියෝජනය කරමින් දක්ෂතම සූපවේදීන් පිරිසක් එක්ව සිටි අතර, රුමිර එහිදී ලෝකයේ දක්ෂතම තරගකරුවන් 10 දෙනා අතරට තේරී පත්වෙමින් මෙම ජයග්‍රහණය තහවුරු කළේය.
ශිෂ්‍ය සූපවේදීන් වෙනුවෙන් ලොව පැවැත්වෙන විශාලතම ගෝලීය සූපශාස්ත්‍ර තරගාවලිය ලෙස සැලකෙන මෙය ඉන්දියාවේ ජාත්‍යන්තර හෝටල් කළමනාකරණ ආයතනය (IIHM) සහ ලන්ඩනයේ ජාත්‍යන්තර ආගන්තුක සත්කාර කවුන්සිලය එක්ව සංවිධානය කර තිබුණි. SLIIT ආයතනයට අනුබද්ධිත කොළඹ ඇකඩමි ඔෆ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් (CAHM) ආයතනයේ ශිෂ්‍යයෙකු වන රුමිර පිළිගැනීම සඳහා එම ආයතනයේ නිලධාරීන් සහ පවුලේ ඥාතීන් පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.














