දිවයින පුරා වෙහෙර විහාරස්ථානවල බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝමධාතු කඩා සොරාගත් සැකකරුවන් දෙදෙනෙකු අද (08) නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පිළිමතලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 45ත් 50ත් අතර පසුවන මෙම සැකකරුවන් නාවලපිටිය කැටපුලාව විහාරස්ථානයේ බුදු පිළිමයට හානි කර එහි තිබූ රන් ඌර්ණ රෝමධාතුව සොරාගෙන පලා ගොස් ඇති අතර, විහාරස්ථානයේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනයකදී ඔවුන් කොටු වී ඇත.
සැකකරුවන් සන්තකයේ තිබී බුදු පිළිමවලින් සොරාගෙන උණුකරන ලද රන් පවුම් 30ක ප්‍රමාණයක් සහ සොරකම සඳහා භාවිත කළ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන තිබේ. මොවුන් විසින් විවිධ විහාරස්ථානවලින් සොරාගන්නා රත්‍රං කුරුණෑගල සහ පිළිමතලාව ප්‍රදේශවල පෞද්ගලික රන් භාණ්ඩ ආයතන මඟින් උණුකර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. සැකකරුවන් නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර නාවලපිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














