වන සතුන්ගෙන් සිදුවන වගා හානි පාලනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වඳුරු රැඳවුම් මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ කළුගඟ ජලාශය අසල ඉදිකිරීමට රජය තීරණය කර තිබේ. හෙක්ටයාර 150ක භූමි ප්‍රදේශයක් පුරා විහිදෙන මෙම මධ්‍යස්ථානය සඳහා රුපියල් මිලියන 283.87ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, ඒ සඳහා මාතලේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ අනුමැතිය ද හිමිව ඇත.
වනජීවී දෙපාර්තමේන්තුවට අනුව, ජලය සහ ස්වාභාවික ආහාර සහිත ආරක්ෂිත පරිසරයක් ලෙස මෙය නිර්මාණය කෙරෙන අතර වගාවලට දැඩි ලෙස හානි කරන වඳුරන් අල්ලා මෙහි රඳවා තැබීමට නියමිතය. මීට අමතරව එම සතුන්ගේ අභිජනන වේගය පාලනය කිරීමට ද පියවර ගන්නා අතර, සතුන් නැවත පරිසරයට පැන නොයන ලෙස ආරක්ෂිත වැටවල් යොදා මධ්‍යස්ථානය ඉදිකිරීමට නියමිත බව වනජීවී නිලධාරී සමත් ලක්ෂ්මන් පෙරේරා මහතා සඳහන් කළේය.














