ත්‍රිකුණාමලය, මොරවැව D-9 යාය ප්‍රදේශයේදී හක්ක පටස් වැදීමෙන් බරපතල තුවාල ලබා සිටි වයස අවුරුදු 08ක් පමණ වන තරුණ වනඅලියෙකු අද (08) පස්වරුවේ මියගොස් තිබේ. දින කිහිපයකට ඉහතදී මෙම හක්ක පටස් පිපිරීමෙන් වනඅලියාගේ හකු ප්‍රදේශයට දැඩි හානි සිදුව ඇති අතර, ආහාර හෝ ජලය ලබාගැනීමට නොහැකිව අතිශය අසරණව සිටි මෙම සත්ත්වයා වනජීවී පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර සඳහා පැමිණීමටත් පෙර මියගොස් සිටි බව වාර්තා වේ.
වනජීවී නිලධාරීන් සැක පළ කරන්නේ ප්‍රදේශයේ දඩයක්කරුවන් විසින් වල් ඌරන් දඩයම් කිරීම සඳහා අටවන ලද හක්ක පටස් උගුලකට මෙම වනඅලියා හසුවන්නට ඇති බවයි. මහවැලි කලාප භාර වනජීවී පශු වෛද්‍ය කලිඳු ආරච්චි මහතාගේ උපදෙස් පරිදි සත්ත්වයාගේ මරණ පරීක්ෂණය පවත්වා එම ස්ථානයේම වළ දැමීමට කටයුතු කර ඇති අතර, වන සතුන් දඩයම් කිරීම සඳහා මෙලෙස පුපුරණ ද්‍රව්‍ය භාවිත කරන පිරිස් සොයා විමර්ශන ආරම්භ කර තිබේ.














