දිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් විපතට පත්වූ ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය දියත් කළ මානුෂීය ප්‍රමුඛතා සැලැස්ම (HPP) වෙනුවෙන් මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 22.4ක ආධාර මුදලක් ලැබී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් ආයතනය ඇතුළු සංවිධාන 68ක දායකත්වයෙන් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි දැනටමත් පුද්ගලයින් 216,000කට අධික පිරිසකට මෙමගින් සහන සලසා ඇත.
2025 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද මෙම සහන සැලැස්ම මගින් ඩොලර් මිලියන 35.3ක මුදලක් අපේක්ෂා කරන අතර, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, නවසීලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය මේ සඳහා මූල්‍ය දායකත්වය සපයා තිබේ. පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවට එල්ල වූ දරුණුතම සුළි කුණාටුව ලෙස සැලකෙන ‘දිත්වා’ හේතුවෙන් පුද්ගලයන් 646 දෙනෙකු මියගොස් තවත් 173 දෙනෙකු අතුරුදන් වූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දත්ත පෙන්වා දෙයි.
මෙම මානුෂීය මෙහෙයුම යටතේ ආහාර සුරක්ෂිතතාව, අධ්‍යාපනය, සෞඛ්‍ය, පිරිසිදු ජලය සහ තාවකාලික නිවාස පහසුකම් සැපයීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කර ඇත. රජයේ ආයතන සමඟ එක්ව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරකවරයාගේ මූලිකත්වයෙන් මෙම වැඩපිළිවෙළ 2026 අප්‍රේල් මාසය දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.













