2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට කැනඩාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන සංක්‍රමණික වංචා පිළිබඳව කැනඩා රජය විශේෂ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. “FIFA වීසා” හෝ ලෝක කුසලානය සඳහාම වෙන්වූ විශේෂ සංචාරක වීසා වර්ගයක් රජය විසින් නිකුත් නොකරන බවත්, එවැනි දේ පවසමින් මුදල් ලබාගන්නා වංචනිකයින්ට හසු නොවන ලෙසත් කැනඩා රජය අවධාරණය කරයි.
ලෝක කුසලාන තරග නැරඹීමට පැමිණෙන ලෝලීන් සාමාන්‍ය සංචාරකයින් ලෙස සලකන අතර, ඒ සඳහා අවශ්‍ය වන්නේ සාමාන්‍ය සංචාරක වීසා (Visitor Visa) බලපත්‍රයක් හෝ විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (eTA) පමණක් බව රජය පෙන්වා දෙයි. මෙම සංචාරක වීසා බලපත්‍ර රැකියා සඳහා හෝ ස්ථිර පදිංචිය සඳහා කිසිසේත්ම භාවිත කළ නොහැකි බව ද එහි සඳහන් වේ. වීසා ලබා දීම පිළිබඳව කිසිදු නියෝජිතයෙකුට සහතික විය නොහැකි අතර, වැරදි තොරතුරු ඇතුළත් අයදුම්පත් ඉදිරිපත් කළහොත් වසර 5ක කාලයකට කැනඩාවට ඇතුළුවීම තහනම් කළ හැකි බවට ද රජය අනතුරු අඟවයි.














