ධීවර වරායන් සහ වෙරළ තීරයන්හි කාලාන්තරයක් තිස්සේ ගොඩගැසී ඇති ෆයිබර්ග්ලාස් අපද්‍රව්‍ය විධිමත් ලෙස කළමනාකරණය කිරීම සඳහා රුපියල් මිලියන 56ක මූල්‍ය ප්‍රතිපාදන සහිත සුවිශේෂී ව්‍යාපෘතියක් ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය විසින් අද (09) ආරම්භ කරන ලදී. රජයේ “ක්ලීන් ශ්‍රී ලංකා” අරමුදල මගින් ක්‍රියාවට නැංවෙන මෙම ව්‍යාපෘතිය යටතේ, භාවිතයෙන් ඉවත් කළ බෝට්ටු සහ අනෙකුත් ෆයිබර් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා අවශ්‍ය නවීන යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේ ගිවිසුමට අමාත්‍යාංශ පරිශ්‍රයේදී අත්සන් තැබිණි.
මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික මෙහෙයුම් පිළිබඳව අදහස් දැක්වූ සී-නෝර් පදනමේ සභාපති අජිත එදිරිසිංහ මහතා සඳහන් කළේ, පැයකට කිලෝග්‍රෑම් 500ක ධාරිතාවයකින් යුත් මෙම යන්ත්‍රය මගින් ෆයිබර්ග්ලාස් කොටස් කුඩු කර සිමෙන්ති සමඟ මිශ්‍ර කිරීමට නියමිත බවයි. එමගින් බ්ලොක් ගල්, පේවින් බ්ලොක් සහ කම්බි කණු වැනි ඉදිකිරීම් නිෂ්පාදන නිපදවීමට සැලසුම් කර ඇත. වැලි වෙනුවට 30%ක ප්‍රමාණයක් මෙම ෆයිබර් කුඩු ආදේශ කිරීමෙන් නිපදවන ගඩොල්, සාමාන්‍ය ගඩොල්වලට වඩා බරින් අඩු මෙන්ම ශක්තියෙන් වැඩි බව පරීක්ෂණ මගින් තහවුරු වී තිබීම මෙම ව්‍යාපෘතියේ ඇති විශේෂත්වයකි.














