2021 වසරේ සතොස ආයතනය සතු සුදුලූනු තොගයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මිලට පෞද්ගලික ආයතනයකට විකිණීමෙන් රජයට රුපියල් එක්කෝටි හැත්තෑ ලක්ෂයකට අධික පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබූ එම ආයතනයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු සහ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද නියෝග කළේය. ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කර සහන මිලට මහජනතාවට විකිණීම සඳහා සතොසට ලබා දී තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,860 ක ප්‍රමාණයක් මෙලෙස පෞද්ගලික සමාගමකට අලෙවි කර ඇති බව අනාවරණය විය. සතොස ආයතනය සුදුලූනු කිලෝවක් රුපියල් 445 කට අලෙවි කළ වකවානුවක මෙම තොගය රුපියල් 135 වැනි අඩු මුදලකට එස්.එන්. එන්ටර්ප්‍රයිසස් නමැති සමාගමට අලෙවි කිරීම නිසා රජයට රුපියල් 17,006,660 ක පාඩුවක් සිදුව ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.
එවක විෂය භාර අමාත්‍යවරුන් වූ බන්දුල ගුණවර්ධන සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් මෙම සුදුලූනු තොගය සහන මිලට ජනතාවට ලබා දීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන තිබුණද එම තීරණය නොතකා මෙම ගනුදෙනුව සිදු කර ඇති බව සඳහන් වේ. ඒ අනුව හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සුසිරි ප්‍රියන්ත පෙරේරා සහ ව්‍යාපාරිකයන් වන දීපාක් කෘෂ්ණා කුමාර් සහ සොහාල් කුමාර් යන අයට රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම වූ අතර ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කළේය. විත්තියේ නීතිඥවරුන් කියා සිටියේ මෙම සුදුලූනු තොගය නරක් වීමට ආසන්නව තිබූ බැවින් ආයතනික තීරණයක් අනුව විකුණා ඇති බවත් ඒ සඳහා සැකකරුවන් පුද්ගලිකව වගකීමට බැඳී නොමැති බවත්ය. මෙම නඩුව නැවත ජුනි මස 09 වනදා කැඳවීමට නියමිතව ඇත.














