ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) විසින් මෙරට පදිංචිකරුවන් අතර සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ, 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ අවසර ලබා දී ඇති අවස්ථාවකදී හැර අනෙකුත් සියලුම දේශීය ගනුදෙනු ශ්‍රී ලංකා රුපියල්වලින් පමණක් සිදු කළ යුතු බවයි. පදිංචිකරුවන් අතර සිදුකෙරෙන ගනුදෙනු සඳහා විදේශ මුදල් භාරගැනීමට මෙරට වෙළෙඳුන්ට හෝ සේවා සපයන්නන්ට කිසිදු අවසරයක් ලබා දී නොමැති බව මහ බැංකුව මෙහිදී සිහිපත් කරයි.
මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් (Credit/Debit Cards) මඟින් පවා මෙරට පදිංචිකරුවන් අතර විදේශ මුදල්වලින් ගෙවීම් සිදුකිරීමට අවසර නොමැති වීමයි. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාරව, නිසි අවසරයකින් තොරව විදේශ මුදල්වලින් ගෙවීම් කිරීම හෝ එවැනි ගෙවීම් භාරගැනීම දඬුවම් ලැබිය හැකි වරදකි. මෙම නීති උල්ලංඝනය කරමින් වරදකරු වන පුද්ගලයෙකුට රුපියල් මිලියන 25ක් දක්වා වූ දඩ මුදලක්, වසර තුනක් දක්වා වූ සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවීමට අධිකරණයට බලය ඇත.
මෙම පියවර මඟින් දේශීය රුපියලේ අගය ස්ථාවරව තබා ගැනීම සහ විදේශ විනිමය අවභාවිතය වැළැක්වීම මහ බැංකුවේ අරමුණ වී තිබේ. එබැවින්, දේශීය ගනුදෙනුකරුවන් සහ වෙළෙඳුන් නීතිමය ගැටලුවලින් වැළකී සිටීම සඳහා රුපියල්වලින් පමණක් ගනුදෙනු කිරීමට වගබලා ගත යුතු බව ද මහ බැංකුව වැඩිදුරටත් දන්වා සිටියි.














