පෙබරවාරි 14 වැලන්ටයින් දිනය වෙනුවෙන් රෝස මල් සඳහා පවතින ඉල්ලුම පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බව කොළඹ නගර ශාලාව අවට මල් අලෙවිකරුවන් පවසති. ආර්ථික අපහසුතා හේතුවෙන් ජනතාව අත්‍යවශ්‍ය නොවන වියදම් කපා හැරීම සහ මල් මිල ඉහළ යාම මීට ප්‍රධාන හේතු වී තිබේ. සාමාන්‍ය රතු රෝස මලක් රුපියල් 350ක් පමණ වන අතර, රෝස මල් කළඹක මිල රුපියල් 2,500 සිට 3,000 දක්වා පරාසයක පවතින බව වෙළෙන්දෝ සඳහන් කරති.
මල් මිල ඉහළ යාමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ආනයනික බදු ඉහළ යාම සහ දේශීය සැපයුම සීමා වීමයි. නුවරඑළිය සහ බදුල්ල වැනි ප්‍රදේශවල මල් අස්වැන්න අඩුවීම නිසා ඉන්දියාව වැනි රටවලින් මල් ආනයනය කිරීමට සිදුව ඇති අතර, මල් සඳහා පවතින ආනයන බදු අඩු කරන ලෙස වෙළෙන්දෝ රජයෙන් ඉල්ලා සිටිති. කෙසේ වෙතත්, ඉහළ පෙළේ පාරිභෝගිකයන් ඉලක්ක කරගත් අන්තර්ජාල මල් අලෙවි සැල්වල රතු රෝස මල් 100ක කළඹක් රුපියල් 50,000 ඉක්මවූ මිල ගණන් යටතේ අලෙවි වන බව ද වාර්තා වේ.














