සැපයුම් සහ සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා පසුගිය 10 වැනිදා මෙරටට පැමිණි රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘SADH’ යුද නෞකාව ඊයේ (12) සාර්ථක සංචාරයකින් පසු කොළඹ වරායෙන් පිටත්ව ගොස් තිබේ. දින දෙකක කාලයක් මෙරට රැඳී සිටි මෙම නෞකාව සහ එහි කාර්ය මණ්ඩලය වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කොළඹ වරායේදී නාවික හමුදා සම්ප්‍රදායානුකූලව ගෞරවනීය ලෙස සමුදීම සිදු කරන ලදී.
මෙවැනි විදේශීය යුද නෞකා ශ්‍රී ලංකාවට පැමිණීම හරහා කලාපීය නාවික සහයෝගීතාව වර්ධනය වන අතර දෙරටේ නාවික හමුදාවන් අතර අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් ශක්තිමත් වීමට මෙය මහඟු පිටුවහලක් වේ. නෞකාව මෙරට රැඳී සිටි කාලය තුළ එහි කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකාවේ නාවික හමුදා නිලධාරීන් සමඟ සුහද සබඳතා පවත්වමින් විවිධ වැඩසටහන්වලට ද සම්බන්ධ වූ බව වාර්තා වේ.














