විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය යටතේ අද පැවැත්වෙන තරගයේදී ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 169ක අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් රැස් කිරීමට සමත් විය. කාසියේ වාසිය දිනාගත් ඔස්ට්‍රේලියානු නායකයාගේ ආරාධනයෙන් පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන් ආරම්භයේ සිටම සංයමයකින් යුතුව පන්දුවට පහරදීම කැපී පෙනුණි.
සිම්බාබ්වේ ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ බ්‍රයන් බෙනට් පන්දු 45කදී නොදැවී ලකුණු 64ක් රැස් කළ අතර, තඩිවනාෂේ මරුමනී සහ රයන් බර්ල් ලකුණු 35 බැගින් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළහ. ඔස්ට්‍රේලියානු පන්දු යවන්නන් හමුවේ සාර්ථකව මුහුණ දුන් ඔවුන් පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් විය. පන්දු යැවීමේදී කැමරන් ග්‍රීන් සහ මාකස් ස්ටොයිනිස් එක් කඩුල්ල බැගින් දවාගත් අතර, තරගය ජයග්‍රහණය කිරීම සඳහා ඔස්ට්‍රේලියාවට පන්දුවාරයකට ලකුණු 8.5ක වේගයක් රඳවා ගැනීමට සිදුවනු ඇත.














