ශ්‍රී ලංකාවේ මාතෘ සෞඛ්‍ය සේවාවේ මුදුන් මල්කඩක් ලෙස සැලකෙන කාසල්වීදියේ කාන්තා රෝහලට (ශික්ෂණ) වසර 75 ක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවය සහ වෛද්‍ය ප්‍රදර්ශනය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) රෝහල් පරිශ්‍රයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. 1950 වසරේ නිදහස් ලංකාවේ ආරම්භ කළ ප්‍රධානතම මාතෘ රෝහලක් වන මෙය, වර්තමානය වන විට නවීන තාක්ෂණය හා විශිෂ්ට සෞඛ්‍ය සේවාව මුසු වූ ප්‍රමුඛතම ආයතනයක් ලෙස ජාතික හා ජාත්‍යන්තර සම්මානයට පවා පාත්‍ර වී තිබේ.
මෙම 75 වැනි සංවත්සරයට සමගාමීව රෝහලේ ගමන් මග පිළිබඳව සම්පාදනය කරන ලද විශේෂ සමරු ග්‍රන්ථය සහ මාතෘ සෞඛ්‍ය සත්කාරය පිළිබඳ දැනුවත් කිරීමේ වීඩියෝ දර්ශන මෙහිදී එළිදැක්වුණු අතර, රෝහල විසින් සංවිධානය කර ඇති විශේෂ වෛද්‍ය ප්‍රදර්ශනය අද සහ හෙට (පෙබරවාරි 13 සහ 14) පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා නොමිලේ මහජනතාව සඳහා විවෘතව පවතී. එහිදී දරු උපතේ කලාව, කැමරා ඇසින් සිදුකරන ශල්‍යකර්ම සහ නලදරු උපත් ක්‍රියාවලිය වැනි ක්ෂේත්‍ර රැසක් පිළිබඳව නව දැනුම ලබා ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේ උපත් ප්‍රමාණය අවම වීම සහ පෝෂණ ගැටලු වැනි වර්තමාන අභියෝගයන්ට මුහුණ දෙමින් කාන්තා සෞඛ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවයි. රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මහතා ඇතුළු විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් මෙම අභිමානවත් අවස්ථාවට එක්ව සිටියහ.














