අල්ලස් හා දූෂණ නඩු විභාග කිරීමේ කටයුතු කඩිනම් කිරීම සඳහා ලබන සඳුදා සිට නව අධිකරණයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ. දැනට විමර්ශන මට්ටමේ පවතින පැමිණිලි 8,000කට ආසන්න ප්‍රමාණයක නඩු කටයුතු කඩිනමින් අවසන් කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි. 2025-2029 දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම යටතේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත පැවරී ඇති වගකීම් ඉටුකිරීමක් ලෙස මෙම නව අධිකරණ ව්‍යුහය ස්ථාපිත කෙරේ.
පවතින අධිකරණ ශාලා හිඟයට පිළියමක් ලෙස හිටපු අමාත්‍යවරුන් භාවිත කළ කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි නිල නිවාස හතරක් තාවකාලික පදනමින් අධිකරණ කටයුතු සඳහා යොදා ගැනීමට පියවර ගෙන ඇත. ඒ අනුව ග්‍රෙගරි පාර, විජේරාම පාර සහ ස්ටැන්මෝ චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පිහිටි නිල නිවාසවල ප්‍රතිසංස්කරණ කටයුතු මේ වන විටත් සිදුවෙමින් පවතින අතර අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පසුගියදා එහි නිරීක්ෂණ කටයුතුවල නිරත විය. මීට අමතරව බෞද්ධාලෝක මාවතේ පිහිටි නිල නිවසක පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු විභාග කිරීමේ විශේෂ මහාධිකරණය මේ වන විටත් ස්ථාපිත කර අවසන්ය.













