ඕස්ට්‍රේලියානු රැකියා වීසා වංචාවක් සම්බන්ධයෙන් මහනුවරදී තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට
ඕස්ට්‍රේලියාවේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසමින් මහනුවර ප්‍රදේශයේ වංචනික වීසා උපදේශන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය 23 හැවිරිදි තරුණයන් දෙදෙනෙකු ඊයේ (12) දින අත්අඩංගුවට ගනු ලැබීය. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ, එහි ‘EGA වීසා උපදේශන’ ආයතනය රුපියල් මිලියන 3.5 ක මුදලක් වංචා කර ඇති බවට ගම්පහ පදිංචිකරුවෙකු කළ පැමිණිල්ලකට අනුවයි. විමර්ශන නිලධාරීන් එම පරිශ්‍රය පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ අදාළ ආයතනය කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගොස් ඇති බවයි.
ගම්පොළ සහ තලාතුඔය ප්‍රදේශවල පදිංචි මෙම සැකකරුවන් සන්තකයේ තිබී විදේශ රැකියා කොන්ත්‍රාත්තු හතක්, විදේශ ගමන් බලපත්‍ර පහක් සහ මුදල් රිසිට්පත් පොත් කිහිපයක් ද නිලධාරීන් භාරයට ගෙන තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම වැටලීමෙන් පසු සැකකරුවන් අද (13) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.














