දකුණු කොරියාවේ පවතින ජනගහන අර්බුදයට විසඳුමක් ලෙස ශ්‍රී ලංකාව සහ වියට්නාමය වැනි රටවලින් තරුණියන් ‘ආනයනය’ කර එරට ග්‍රාමීය තරුණයන්ට විවාහ කර දිය යුතු බවට මතභේදාත්මක ප්‍රකාශයක් කළ ජින්ඩෝ ප්‍රාන්ත ප්‍රධානී කිම් හී සූ ධුරයෙන් නෙරපා හැරීමට පාලක කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය තීරණය කර තිබේ. ජනගහනය වඳවීමේ අවදානමට ලක්ව ඇති ප්‍රදේශවල ගැටලු විසඳීම සඳහා ඔහු ඉදිරිපත් කළ මෙම යෝජනාව තුළ ‘ආනයනය’ යන වචනය භාවිතා කිරීම හරහා කාන්තාවන් වෙළඳ භාණ්ඩ ලෙස හඳුන්වා ඇති බවටත්, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන රටවලට අපහාසයක් සිදු කර ඇති බවටත් ඔහුට දැඩි විරෝධයක් එල්ල විය.
දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන පරිදි, කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ උත්තරීතර මණ්ඩලය ඒකමතිකව ගනු ලැබූ තීරණයකට අනුව කිම් හී සූ ව වහාම ක්‍රියාත්මක වන පරිදි පක්ෂයෙන් සහ ධුරයෙන් නෙරපා ඇත. ලොව අඩුම උපත් අනුපාතයක් සහිත රටක් වන දකුණු කොරියාවේ ජනගහන ගැටලුව බරපතල වුවද, විදේශිකයන් වස්තූන් ලෙස සලකා සිදු කරන මෙවැනි ප්‍රකාශ මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් ලෙස එරට බලධාරීන් සලකා තිබේ. වත්මන් පුරෝකථනයන්ට අනුව දකුණු කොරියාවේ මිලියන 50ක් වන ජනගහනය ඉදිරි වසර 60 තුළ අඩකින් පහත වැටීමේ අවදානමකට ලක්ව ඇත.














