විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර කොළඹදී පැවැත්වෙන ප්‍රමුඛතම තරගය, ක්‍රීඩාංගණයට ඇතුළු වීමට නොහැකි වන ප්‍රේක්ෂකයින් වෙනුවෙන් ක්‍රීඩාංගණයෙන් පිටත පුළුල් තිර (Giant Screens) ඔස්සේ සජීවීව පෙන්වීමට ඇති හැකියාව පිළිබඳව මේ වන විට සාකච්ඡා මට්ටමේ පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, එවැනි වැඩපිළිවෙලක් සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) නිල අනුමැතිය මෙතෙක් ලැබී නොමැති බව ඔහු පෙන්වා දුන්නේය.
මෙම තීරණය ගැනීමේදී පවතින ප්‍රධානතම අභියෝගය වන්නේ ප්‍රේක්ෂකයින් විශාල වශයෙන් ඒකරාශී වන ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීමයි. තරගය පැවැත්වෙන දිනයේදී ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය අවට ආරක්ෂාව සඳහා පමණක් පොලිස් නිලධාරීන් දහසකට අධික පිරිසක් යෙදවීමට සැලසුම් කර ඇති බව උප සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තරගය නැරඹීම සඳහා පවතින අතිමහත් ඉල්ලුම හේතුවෙන් ප්‍රවේශ පත්‍ර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ප්‍රේක්ෂකයින් විසින් ඉල්ලා තිබීම විශේෂත්වයකි.














