දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි විකාශනය ලෙස ශ්‍රී ලාංකික රේඩියෝ ඉතිහාසයට සියවසක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද ‘රේඩියෝ සියවස් අබිමන්’ උපහාර උළෙල ඊයේ (12) කොළඹ අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා කලා මණ්ඩලය එක්ව සංවිධානය කළ මෙම උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස විෂයභාර අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සහභාගී විය.
මෙහිදී ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි ක්ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් දශක ගණනාවක් තිස්සේ කැපවූ පැරණිතම සන්නිවේදකයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් 30 දෙනෙකු වෙත උපහාර සම්මාන පිරිනැමීම විශේෂත්වයක් විය. එසේම, මෙරට රේඩියෝ සන්නිවේදනයේ පියා ලෙස සැලකෙන ඉංජිනේරු එඩ්වඩ් හාපර් මහතාට උපහාර පිණිස ඔහුගේ විශාලනය කළ ඡායාරූපයක් සියලුම රේඩියෝ නාලිකා වෙත සංකේතාත්මකව පිරිනමන ලදී.
මෙම උත්සවයට සමගාමීව ආචාර්ය ධම්මික දිසානායක මහතා රචනා කළ “A Century of Radio Broadcasting” පර්යේෂණාත්මක කෘතියේ පළමු වෙළුම සහ “ගුවන් විදුලි සමීක්ෂා 5” ලිපි එකතුව ජනගත කෙරුණි. ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න ඇතුළු මැති ඇමතිවරුන් සහ වර්තමාන මාධ්‍යවේදීන් විශාල පිරිසක් එක්ව සිටි මෙම උළෙලේදී රේඩියෝ වැඩසටහන් නිෂ්පාදන තරගාවලියෙන් ජයග්‍රහණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට ද සම්මාන පිරිනැමුණි.














